ඡන්දයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ වත්කම් ප‍්‍රකාශ ඉල්ලයි.
2012 ජූලි 17 අඟහරුවාදා- පෙරවරු 07:45
පළාත් සභා මැතිවරණය පවත්වන දිනට පෙර ඊට ඉදිරිපත් වන අපේක්ෂකයන් සිය වත්කම් සහ බැරකම් ප‍්‍රකාශ මැතිවරණ දෙපාර්තමේන්තුව වෙත ලබා දිය යුතු වනවා. මැතිවරණ මහලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් මේ මස 23 වැනිදා මැතිවරණයට ඉදිරිපත් වන සියලූම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට දැනුම් දෙන බවයි. විසුරුවා හැරුණු නැගෙනහිර, උතුරුමැද සහ සබරගමුව පළාත් සභා මැතිවරණය සැප්තැම්බර් මස 1, 8 හෝ 15 යන දිනවලින් එකක පවත්වන බව දැනටමත් මැතිවරණ කොමසාරිස්වරයා විසින් ප‍්‍රකාශ කර අවසන්.
මේ අතර, විසුරුවා හැරුණු පළාත් සභා තුනට අදාළව නාම යෝජනා භාර ගැනීම අනිද්දා මධ්‍යහ්න 12න් අවසන් වනවා. මෙලෙස භාර ගනු ලබන නාම යෝජනා පරීක්ෂා කිරීම සඳහා ඡන්දය නොපවත්වන දිස්ත‍්‍රික්කවල මැතිවරණ නිලධාරීන් යොදවා ගැනීමට මැතිවරණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. පසුගිය වසරවල පැවැති මැතිවරණ කිහිපයකදී නාම යෝජනා නිසි පරිදි භාරගෙන නොමැති බවට මැතිවරණ නිලධාරීන්ට එරෙහිව චෝදනා එල්ල වුණා. එලෙස මෙවර මැතිවරණයේදී ද මැතිවරණ නිලධාරීන්ට චෝදනා එල්ල වීම වළක්වා ගැනීම සඳහායි මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ.
