‘‘ස්තූතියි’’ - පකිස්ථාන ජනාධිපතිවරයා ඉන්දියාවට කියයි.
2012 ජූලි 19 බ්‍රහස්පතින්දා- පස්වරු 12:54
ඉන්දියාව සහ පාකිස්ථානය අතර යළිත් වතාවක් ක‍්‍රිකට් සබඳතා තහවුරු කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් පාකිස්ථාන ජනාධිපති අසීෆ් අල් සර්දාරි ඉන්දීය අග‍්‍රාමාත්‍ය මන් මෝහන් සිං වෙත ස්තූතිය පළකොට තිබෙනවා. පකිස්ථාන ජනාධිපතිවරයා විසින් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර ඇත්තේ ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය විසින් පාකිස්ථාන ක‍්‍රිකට් කණ්ඩායමට තරඟ සංචාරය සඳහා කළ ආරාධනාවට පිළිතුරු වශයෙන්. මෙම වසර අවසානයේ මෙම තරඟ සංචාරය පැවැත්වීමට නියමිත අතර ඊට එක්දින තරග 5 ක් සහ විස්සයි විස්ස තරඟ දෙකක් ඇතුළත්. ඉන්දියාව සහ පාකිස්ථානය අතර වසර 5 කට පසු පැවැත්වෙන පළමු ක‍්‍රිකට් තරඟාවලියද මෙය වනවා. අවසන්වරට ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරඟාවලියක් පැවැත්වුණේ 2007 වසරේදියි. කෙසේ වුවත් 2008 වසරේ සිදුවූ මුම්බායි ප‍්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය අතර ක‍්‍රිකට් තරඟ පැවැත්වීම ඇනහිටියා. එහෙත් 2010 වසරේ පැවති ලෝක කුසලාන තරඟාවලියේදී ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරඟයක් ඉන්දියාවේදී පැවැත්වුණා.
