වවුනියාවේදී මියගිය කොටි සාමාජිකයාගේ දේහය ඥාතීන්ට.
2012 ජූලි 21 සෙනසුරාදා- පස්වරු 12:32
වවුනියාව බන්ධනාගාරයේ ඇති වූ කලහයේදී තුවාල ලබා ජිවිතක්ෂයට පත් වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයාගේ දේහය අවසන් කටයුතු සඳහා ඔහුගේ ඥාතීන්ට භාර දෙන බව නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධීකරණයට ඊයේ (20) දැනුම් දුන්නා. ඔහු උපන් ගම වන වවුනියාවේදී අවසන් කටයුතු සිදුකිරීම සඳහා එල්.ටී.ටී.ඊ සාමාජිකයාගේ දේහය ලබන සඳුදා භාරදීමට නියමිතයි. 29 හැවිරිදි ගනේෂන් නිමලරූබන් පසුගිය ජූලි 05 වනදා රාගම රෝහලේදී මියගියේ වවුනියාව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් අනතුරුවයි. ඔහු ඒ වන විට මහර බන්ධනාගාරයට මාරුකර යවා තිබුණා. මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය රාගම රෝහලේදී සිදුකෙරුණු අතර මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ අවසන් කටයුතු රාගම ප‍්‍රදේශයේ සිදුකරන ලෙසයි. එහෙත්, මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයාගේ අවසන් කටයුතු වවුනියාවේ සිදුකිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලමින් ඔහු ඥාතීන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් කළා. නිමලරූබන්ගේ දේහය සඳුදා ඔහුගේ ඥාතීන්ට ලැබීමට නියමිත අතර අඟහරුවාදා ඒ පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට කටයුතු යොදා ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
