සිරියාව පුරා ගැටුම්.
2012 ජූලි 22 ඉරිදා- පෙරවරු 08:11
සිරියාවේ විපක්ෂ සන්නද්ධ කණ්ඩායම් සහ ජනාධිපති බෂාර් අල් අසාද්ගේ හමුදා අතර, ගැටුම් දැන් රට පුරා ව්‍යාප්ත වී තිබෙනවා. එරට දෙවැනි විශාලතම නගරය වන ඇලෙප්පෝ හි දරුණු ගැටුම් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. පසුගිය වසරේ මාර්තු මාසයේදී සිරියානු ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ආරම්භ වූ දා පටන් අනෙකුත් නගරවල ගැටුම් ඇවිලූණද, ඇලෙප්පෝ නගරය සාපේක්ෂව සාමකාමීව පැවතුණා. දැන් එහිද ගැටුම් හටගෙන ඇත්තේ ජගත් සංවිධාන නිරීක්ෂණ කණ්ඩායම් සිය අවසන් නිරීක්ෂණ කාලසීමාව ආරම්භ කිරීමත් සමගයි. එය තවත් දින 30 කට පමණක් දීර්ඝ කිරීමට ආරක්ෂක මණ්ඩලය පසුගිය සිකුරාදා තීරණය කළා. ජගත් සංවිධාන සහ අරාබි ලීග විශේෂ නියෝජිත කොෆී අනන්ගේ සාම සැලැස්ම කි‍්‍රයාවට නැංවිය නොහැකි නම් නිරීක්ෂකයන් සිරියාවෙන් ඉවත් කර ගැනීමටයි ජගත් සංවිධානය තීරණය කර ඇත්තේ. විපක්ෂ සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව බර අවි භාවිත කරන්නේ නම් පමණක් ඔවුන්ගේ කාලසීමාව දීර්ඝ කළ හැකි බව ජගත් සංවිධානය ප‍්‍රකාශ කළා. පසුගිය දින කිහිපය තුළ ගැටුම් තවදුරටත් උත්සන්න වී ඇති අතර, බ‍්‍රහස්පතින්දා පුද්ගලයන් 300 කට වැඩි පිරිසක් සහ සිකුරාදා තවත් 200 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි සිරියානු විපක්ෂය පවසන්නේ.
