නවනීදන් පිල්ලේ මියන්මාරයට අනතුරු අගවයි.
2012 ජූලි 28 සෙනසුරාදා- පස්වරු 01:11
මියන්මාරයේ රඛිනේ ප‍්‍රදේශයේ සිදුවන මානව හිමිකම් උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ පවසනවා. මියන්මාර ආරක්ෂක හමුදා විසින් එහි මුස්ලිම් ජන කොටසට එරෙහිව කටයුතු කරන බවටයි ඇය චෝදනා කළේ. ජගත් සරණාගත කොමිසම පවසන පරිදි උතුරුදිග මියන්මාරයේ ගෝත‍්‍රික ගැටුම්වලින් අවතැන් වී සිටින සංඛ්‍යාව 80,000කට අධිකයි. තාවකාලික සහන කදවුරුවල රැදී සිටින ඔවුන් වෙත ගුවනින් සහනාධාර ලබාදීමට කටයුතු කරනවා. මියන්මාරයේ රඛිනේ ප‍්‍රාන්තයේ ගැටුම් නැවතත් ආරම්භ වූයේ පසුගිය මැයි මාසයේදීයි. රඛිනේ බෞද්ධ කාන්තාවක් මුස්ලිම් ජාතිකයන් තුන් දෙනෙකු විසින් දූෂණය කොට ඝාතනය කිරීම ඊට හේතුවයි. ඉන් අනතුරුව පසුගිය ජූනි 03 වැනිදා නාඳුනන කණ්ඩායමක් විසින් මුස්ලිම් ජාතිකයින් දස දෙනෙකු ඝාතනය කර තිබුණා. එතැන් සිට පැවැති වාර්ගික ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 78 දෙනෙකු මිය යන්නට ඇතැයි සැලකෙනවා. ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය සඳහන් කළේ මෙහි පවතින ගැටුම්වලදී මියන්මාර ආරක්ෂක හමුදා මුස්ලිම් ජාතික රොහින්ග්‍යයා ජන ප‍්‍රජාව පීඩාවට ලක් කරන බවයි. මියන්මාරයේ සුළු ජන කොටස්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නව නීති සකස් කළ යුතු බව මියන්මාර විපක්ෂ නායිකා අවුන්සාන් සුකී ද පසුගිය දා පෙන්වා දුන්නා.
