ජගත් මානව හිමිකම් නියෝජිත පිරිසක් ශ‍්‍රී ලංකාවට.
2012 අගෝස්තු 05 ඉරිදා- පස්වරු 12:46
ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේයිගේ නියෝජිත කණ්ඩායමක් නුදුරේදීම ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට සූදානම් බව වාර්තාවනවා. ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව සම්මත කරගනු ලැබූ යෝජනාවට අනුව ලක් රජයට තාක්ෂණික උපදෙස් ලබාදීම ඔවුන්ගේ අරමුණයි. මීට පෙර මෙවැනි සංචාරයක් සඳහා විවිධ අංශවලින් විරෝධය පළවුණා. කෙසේ නමුත් විදේශ අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ මානව හිමිකම් නියෝජිත කණ්ඩායමේ ශ‍්‍රී ලංකා සංචාරයකට ලක් රජය කිසිවිටෙක නිල විරෝධතාවයක් නොදැක්වූ බවයි. මානව හිමිකම් නියෝජිතයන්ට දිවයිනේ ඕනෑම ස්ථානයක සංචාරය කර කරුණු අධ්‍යනය කිරීමට හැකියාවක් පවතිනවා. එහෙත් එම සොයාබැලීම් සීමාවන් යටතේ සිදුකිරීමටයි අවසරය ලබාදෙන්නේ. ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ නියෝජිතයන්ට ශ‍්‍රී ලංකාවට පැමිණිය හැකි බව විදේශ අමාත්‍යාංශය දැනුම්දී තිබූ බවද එහි ප‍්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවා. ඔහු තවදුරටත් කියා සිටියේ ප‍්‍රමාදයක් සිදුවූ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයෙන් බවයි. ජගත් මානව හිමිකම් කොමිසම සිය යෝජනාව මගින් ශ‍්‍රී ලංකාවේ සංහිදියාවක් ඇතිකරලීමේ ක‍්‍රියාකාරී වැඩපිළිවෙලක් අවශ්‍ය බවද පෙන්වා දුන්නා. එවැනි ක‍්‍රියාකාරී වැඩපිළිවෙලක් සඳහා පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිවුණා.
මේ අතර දිවයිනට පැමිණ සිටින බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායම අද දිනයේදී හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වී තිබෙනවා. පසුගියදා දිවයිනට පැමිණි මෙම නියෝජිතයන් යාපනය, ත‍්‍රිකුණාමලය සහ නැගෙනහිර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ රැසක නියැලූණු බවයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ. මීට අමතරව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු නියෝජියන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද පසුගියදා හමුවුණා.
