වාහන ලියාපදිංචිය අඩුවෙයි.
2012 අගෝස්තු 08 බදාදා- පස්වරු 07:02
මෙරට වාහන ලියාපදිංචිය තවදුරටත් පහත වැටෙමින් පවතිනවා. පසුගිය ජුලි මාසයේ වාහන ලියාපදිංචිය සියයට 55 කින් පහත වැටී ඇති බවයි සංඛ්‍යාලේඛණ පෙන්වා දෙන්නේ. පසුගිය වසරේ ජුලී මාසයේ මෙරට වාහන 41,481 ක් ලියාපදිංචි කෙරුණු අතර මේ වසරේ ජුලි මාසයේදී එලෙස ලියාපදිංචි කොට ඇත්තේ වාහන 26,799 ක් පමණයි. මේ වසරේ මුල් මාස 7 සැලකූ විට අලූත් සහ අලූත්වැඩියා කළ වාහන ආනයනය 18,376 ක්. පසුගිය වසරේදී එම කාලය තුළ වාහන 31,462 ක් ආනයනය කර තිබෙනවා. මේ වසර මුලදී වාහන ආනයනය සඳහා පැනවුණු නව බදු මෙලෙස වාහන ආනයනය පහත වැටීමට හේතුවයි. මේ වසරේ මුල් මාස 7 තුලදී එන්ජින් ධාරිතාව දහසකට අඩු කුඩා මෝටර් රථ ආනයනය ද ඒකක 5000 කින් පමණ අඩුවීම විශේෂත්වයක්. මේ අනුව, මේ වසර තුළදී මෙරට නව වාහන ලියාපදිංචිය සියයට 40 කින් පමණ පහත වැටෙනු ඇතැයි අපේක්ෂිතයි. එමෙන්ම, යතුරුපැදි හිමියන්ගේ මෝටර් රථ සිහිනය තවදුරටත් බිඳ වැටෙනු ඇති බවයි මෝටර් රථ වෙළඳපොල විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.
