මෙක්සිකෝව සහ බ‍්‍රසීලය පාපන්දු අවසන් තරඟයට.
2012 අගෝස්තු 08 බදාදා- පස්වරු 07:07
ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේ පාපන්දු රන් පදක්කම සඳහා ජපානයට පැවති බලාපොරොත්තු සුන් කරමින් මෙක්සිකෝව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා. වෙම්බ්ලි ක‍්‍රීඩාංගනයේ පැවති අවසන් පූර්ව තරගයේදී මෙක්සිකෝව ජපානය පරාජය කළේ ගෝල 3 ට එකක් ලෙසයි. මේ අනුව, ඔවුන් බ‍්‍රසීලය සමඟ අවසන් තරගයට සුදුසුකම් ලබනවා. බ‍්‍රසීලය අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුයේ දකුණු කොරියාව ගෝල 3 ට බින්දුවක් ලෙස පරාජයට පත් කරමින්. ලන්ඩන් ඔලිම්පික් උළෙලේ පාපන්දු රන් පදක්කම් තරගය සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි.
මේ අතර, මෙවර ඔලිම්පික් උළෙල නරඹන ලෝකවාසීන්ගේ සංඛ්‍යාව බිලියන 4 යි දශම 8 ක්, එනම් කෝටි 480 ක් බව අන්තර් ජාතික ඔලිම්පික් සම්මේලනය ප‍්‍රකාශ කළා. 2008 බීජිං ඔලිම්පික් උළෙලෙ නැරඹූ ලෝකවාසීන්ගේ සංඛ්‍යාව බිලියන 4 යි දශම 8 ක්. බි‍්‍රතාන්‍යවාසීන් ඔලිම්පික් උළෙල නැරඹීම අතින් ද නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා. පසුගිය ඉරිදා පැවති උසේන් බෝල්ට් ජයගත් මීටර් 100 පිරිමි අවසන් තරගය බි‍්‍රතාන්‍ය වාසීන්ගෙන් සියයට 90 ක් නැරඹූ බව සඳහන්.
ඔලිම්පික් උළෙල 12 වන දිනට පිවිසෙද්දී රන් පදක්කම් 34 ක් සමඟ පදක්කම් 73 ක් දිනූ චීනය ඉදිරියෙන් සිටින අතර රන් පදක්කම් 30 ක් සමඟ පදක්කම් 70 ක් දිනා ඇමෙරිකා එක්සත් ජනපදය දෙවන ස්ථානයෙන් සිටිනවා. රන් පදක්කම් 22 ක් සමඟ පදක්කම් 48 ක් දිනූ බි‍්‍රතාන්‍යයට හිමිව ඇත්තේ 3 වන ස්ථානයයි.
