දෙමළ ඊළාම් සමුළුවට තමිල්නාඩුවෙන් බාධා.
2012 අගෝස්තු 11 සෙනසුරාදා- පෙරවරු 07:13
ටෙසෝ හෙවත් දෙමළ ඊළාම් සමුළුව තමිල්නාඩුවේ පැවැත්වීම පිළිබඳව බාධා මතුව තිබෙනවා. ටෙසෝ සමුළුව හෙට පැවැත්වීමට තීරණය කර තිබුණේ චෙන්නායි රායපේටෙයි වයි.එම්.සී.ඒ. ශාලාවේදීයි. තමිල්නාඩු ප‍්‍රාන්ත රජය ඊයේ (10) චෙන්නායි මහාධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම ශාලාවට රැස් කළ හැක්කේ පුද්ගලයින් 2000ක් පමණක් බවයි. එහෙත් ටෙසෝ සමුළු සංවිධායකයින් හෙට පැවැත්වෙන රැස්වීම සඳහා ලක්ෂ 2කට ආසන්න ජනතාවක් පැමිණෙන බව ප‍්‍රකාශ කර තිබෙනවා. රායපේටෙයි ශාලාව ඉදිරිපිට රෝහලක් ද පවතින අතර මෙවැනි ජනකායක් පැමිණියහොත් සාමාන්‍ය ජන ජීවිතයට බාධා එල්ල විය හැකි බවයි ඔවුන් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ. මේ නිසා මෙම සමුළුව තමිල්නාඩුවේ පැවැත්විය නොහැකි බව ද ප‍්‍රාන්ත රජයේ නියෝජිතයන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරුන් කියා සිටියේ මෙම සමුළුව තමිල්නාඩුවේ පවත්වනවා ද නැද්ද යන්න පිළිබද ප‍්‍රාන්ත පොලිස් ප‍්‍රධානියා විසින් තීරණයක් ගත යුතු බවයි.
