ටෙසෝ සමුළුවට ඊළාම් යළි එන ලකුණු.
2012 අගෝස්තු 11 සෙනසුරාදා- පස්වරු 06:55
ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාව සඳහා වෙනම රාජ්‍යයක් බිහිකිරීම අරමුණු කරගත් ඊලාම් සංකල්පය අත්හරින ලෙස ඉන්දීය මධ්‍යම රජය දැරූ මතය හදිසියේම වෙනස් කර තිබෙනවා. ඞී.එම්.කේ. පක්ෂ නායක මුත්තුවේල් කරුණානිධි විසින් කැඳවා ඇති ඊලාම් දෙමළ අයිතීන් සුරැකීමේ සම්මේලනය හෙවත් ටෙසෝ සමුළුව පිළිබඳව සිය මතය ප‍්‍රකාශ කරමින් ඉන්දීය මධ්‍යම රජය මීට පෙර ඞී.එම්.කේ. පක්ෂය වෙත ප‍්‍රකාශ කර තිබුණේ ඊලාම් සංකල්පය අතහරින ලෙසයි. විශේෂයෙන් ටෙසෝ සංවිධානයේ නමින්ම ඊලාම් යන වචනය ඉවත් කරන ලෙස ඉන්දීය රජය සිය දේශපාලන සහයකයින් වන ඞී.එම්.කේ. පක්ෂයෙන් මීට පෙර ඉල්ලා තිබුණා. එහෙත් අද (11) දහවල් ඉන්දීය විදේශ අමාත්‍යාංශය විසින් ඞී.එම්.කේ. පක්ෂය ලිපියක් යොමුකරමින් ඊලාම් වචනය ටෙසෝ සමුළුව සඳහා භාවිත කළ හැකි බවට සඳහනක් කර ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කළා.
හෙට (12) චෙන්නායි නුවරදී ආරම්භවීමට නියමිතව තිබූ ටෙසෝ නොහොත් දෙමළ ඊලාම් සහයෝගීතා සංවිධානයේ සමුළුව සඳහා අවසර ලබානොදීමටයි චෙන්නායි පොලිස් ප‍්‍රධානියා අද (11) තීරණය කළේ. මෙම සමුළුව සංවිධාන කර ඇති චෙන්නායි හි රායපේටෙයි ශාලාවේ අපේක්ෂිත ජන සංඛ්‍යාවක් රැඳවිය නොහැකි බව ප‍්‍රාන්ත පොලිස් ප‍්‍රධානියාගේ අදහස වී තිබුණා.
ටෙසෝ සමුළුව චෙන්නායි නුවර පැවැත්වීමට එරෙහිව ප‍්‍රාන්ත රජය විසින් චෙන්නායි මහාධිකරණය වෙත පෙත්සමක් ගොනුකර තිබූ අතර එහිදී අධිකරණය ඒ පිළිබඳ බලතල ප‍්‍රාන්ත පොලිස් ප‍්‍රධානියාට පැවරුවා. ඒ අනුවයි චෙන්නායි පොලිස් ප‍්‍රධානියා සමුළුව පැවැත්වීමට ඉඩදිය නොහැකි බව ප‍්‍රකාශ කර ඇත්තේ. කෙසේ වෙතත්, චෙන්නායි පොලිස් ප‍්‍රධානියා ගෙන ඇති මෙම තීරණය අභියෝගයට ලක් කරමින් ඞී.එම්.කේ. පක්ෂය චෙන්නායි මහාධිකරණයේ තවත් පෙත්සමක් අද (11) ගොනුකළ අතර, එය විභාගයට ගත් චෙන්නායි මහාධිකරණය ප‍්‍රකාශ කළේ මෙය ඉහළ අධිකරණයක් මගින් විභාග කළ යුතු බවයි. ඒ අනුව හෙට ආරම්භවීමට නියමිතව තිබූ ටෙසෝ සමුළුව පැවැත්වීම සම්බන්ධයෙන් මේ වනවිට ගැටළුකාරී තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.
මේ අතර, මෙම සමුළුවට සහභාගීවීම සඳහා නව වාමාංශික පෙරමුණේ නායක වික‍්‍රමබාහු කරුණාරත්න අද (11) උදෑසන දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම සමුළුවට එරෙහිව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට හෙට (12) පෙරවරුවේ උද්ඝෝෂණයක් පවත්වන බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ප‍්‍රකාශ කළා.
