International20 May 2013

ජනාධිපති අසාද්ගේ හමුදා සිරියානු විපක්ෂ බලකොටුවක් වටලයි.


සිරියාවේ විපක්ෂ කැරළිකරුවන් සතු බටහිර දිග කුසායිර් නගරය යළි අත්පත් කරගැනීම සඳහා ජනාධිපති බෂාර් අල් අසාද්ගේ හමුදා විසින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. සිරියානු රාජ්‍ය රූපවාහිනිය හදිසි පුවතක් ලෙසින් ප්‍රකාශ කළේ වීරෝධාර සිරියානු හමුදා ත්‍රස්තවාදීන්ගේ බලකොටුවක් සිව්දෙසින් වැටලූ බවයි. නගරයේ ප්‍රධාන ගොඩනැගිලි තමන් විසින් අත්පත්කරගත් බව සිරියානු රජය පසුව ප්‍රකාශ කළ අතර කැරලිකරුවන් එය ප්‍රතික්ෂේප කළා. එහෙත් සටන්වලදී පුද්ගලයන් 50 දෙනෙකු මියගිය බව ඔවුන් කියා සිටියා. සිරියානු රාජ්‍ය රූපවාහිනිය නැවතත් ප්‍රකාශ කළේ ගැටුම්වලදී ත්‍රස්තවාදීන් 70 දෙනෙකු මියගිය බවයි. සිරියානු රජයේ හමුදා සමග ලෙබනන සටන්කාමීන්ද මෙම ප්‍රහාරය සඳහා එක්වි ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. සිරියානු රජය හිස්බුල්ලා සටන්කාමීන්ට සහය දැක්වීම ඊට හේතුවයි. සුන්නි සන්නද්ධ කණ්ඩායම් විපක්ෂ කැරලිකරුවන් සමග එක්ව සිටිනවා. ලෙබනන දේශ සීමාව ආසන්නයේ පිහිටි කුසායිර්, උපක්‍රමීය වශයෙන් වැදගත් නගරයක්. ඩමස්කස් අගනුවර සිට වෙරළාසන්න ප්‍රදේශ වෙත පිවිසීම සඳහා මෙම නගරයේ බලය රඳවා ගැනීම අත්‍යාවශ්‍ය බවයි යුද විචාරකයන් පෙන්වා දෙන්නේ.

Related recommendation
Hiru TV News | Programmes