Hirunews Logo
%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA+4.1%25%E0%B6%9A%E0%B7%8A
Wednesday, 09 August 2017 - 16:41
රැකියා වියුක්ති අනුපාතය 4.1%ක්
13

Shares
1,606

Views
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2017 වසරේ පළමුවන කාර්තුව (ජනවාරි, පෙබරවාරි, මාර්තු) සඳහා ශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් රටේ රැකියා නියුක්තිය, රැකියා වියුක්තිය හා ශ්‍රම බලකාය වැනි සංඛ්‍යාති රැසක උපනතිය පිළිබඳ කාලීන දත්ත ඉදිරිපත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණය පවත්වනු ලබනවා.

මෙම සමීක්ෂණය 1990 වසරේ සිට කාර්තුමය පදනමක් යටතේ වාර්ෂිකව පවත්වාගෙන යන අතර 2017 වර්ෂයේදී පැවැත්වූයේ එම සමීක්ෂණ මාලාවේ 37 වැන්නයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මුළු දිවයිනම ආවරණය වන පරිදි නිවාස ඒකක 6,430 ක නියැදියක් මඟින් රැස් කළ තොරතුරු භාවිතයෙන් 2017 වසරේ පළමුවන කාර්තුව සඳහා ශ්‍රම බල සංඛ්‍යාති නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් වයස අවු. 15 හා ඊට වැඩි ජනගහනය වැඩ කරන වයසේ පසුවන ජනගහනය ලෙස සලකනු ලබානවා.

2017 වසරේ පළමුවන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත වැඩ කරන වයසේ පසුවන ජනගහනය මිලියන 15.7 ක්.

මෙය 2016 වසරේ පළමුවන කාර්තුව හා සසඳන කල 0.3% ක වැඩිවීමක්.

මේ සඳහා ශුද්ධ සංක්‍රමනයන් හා අභ්‍යන්තර සංචලනයන් හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

වැඩකරන වයසේ ජනගහනය අතුරින් සලකනු ලබන සමීක්ෂණ යොමු කාලය තුල රැකියා නියුතු හෝ රැකියා විරහිත මුළු ජනගහනය ආර්ථික වශයෙන් ක්‍රියාශීලී ජනගහනය හෙවත් ශ්‍රම බලකාය ලෙස හඳුන්වනවා.

2017 වසරේ පළමුවන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත ආර්ථික වශයෙන් ක්‍රියාශීලී ජනගහනය මිලියන 8.6 ක් ලෙස වාර්තා වන අතර  ඒ අතරින් 62.7% ක් පුරුෂ වන අතර 37.3% ක් ස්ත්‍රීන්.

ශ්‍රම බලකායට අයත් වන පුද්ගලයින් සංඛ්‍යාව, වැඩකරන වයසේ ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස ගත් විට ශ්‍රම බල සහභාගිත්ව අනුපාතය (LFPR) ලෙස හදුන්වනු ලබන අතර  2017 වසරේ පළමුවන කාර්තුවට අදාල සමීක්ෂණ ප්‍රතිඵල වලට අනුව ශ්‍රී ලංකාවේ සමස්ථ ශ්‍රම බල සහභාගිත්ව අනුපාතය 54.7% ක් වන අතර පුරුෂයින් හා ස්ත්‍රීන් සඳහා ශ්‍රම බල සහභාගිත්ව අනුපාත පිළිවෙළින් 75.1% හා 37.6% ක්.

පුද්ගලයෙකු අදාල සමීක්ෂණ යොමු කාලය තුල අවම වශයෙන් පැයක්වත් වැටුප් ලබන සේවකයෙකු, සේවායෝජකයෙකු, තමාගේ වැඩ කටයුතු කරන්නෙකු හෝ පවුලේ ආර්ථික කටයුතු වලට දායකවන්නෙකු ලෙස කිසියම් වැඩක නිරත වුයේ නම් එම පුද්ගලයා රැකියා නියුතු පුද්ගලයෙකු ලෙස හඳුන්වනවා.

මෙම කාර්තුව සදහා ඇස්තමේන්තුගත රැකියා නියුක්තිකයින් ප්‍රමාණය මිලියන 8.2 ක් වන අතර  ඒ අතුරින් 45% ක් සේවා අංශයේ ද 28% ක් කර්මාන්ත අංශයේ ද 27% ක් කෘෂිකාර්මික අංශයේ ද රැකියා වල නිරත වී තිබෙනවා.

මෙහිදී ඉහලම සේවා නියුක්තියක්  සේවා  අංශයේ  දක්නට  ලැබෙන අතර, ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම එම රටාව දක්නට ලැබෙනවා.

මෙහිදී කෘෂිකාර්මික අංශයේ නියෝජනය අවම අගයක් ගන්නා බවයි ජන ලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ.

තවද 2017 වසරේ පළමුවන කාර්තුවේදී රැකියා නියුක්තිකයින්ගෙන් 68.1% ක් සතියකට පැය 40 කට වඩා වැඩ කර ඇති බව වාර්තා වී තිබෙනවා.

අදාල සමීක්ෂණ යොමු කාලය තුල රැකියාවක් නොමැති, සමීක්ෂණයට පෙර සති 4 ක කාලය තුල රැකියාවක් සොයමින් සිටි හා රැකියාවක් සෙවීමට කිසියම් ක්‍රියා මාර්ගයක් ගත්, ඉදිරි සති 2 තුල රැකියාවක් ලැබුණහොත් එය කිරීමට හැකියාව ඇති පුද්ගලයින් රැකියා විරහිත පුද්ගලයින් සේ සලකනු ලබනවා.

මුළු රැකියා විරහිත පුද්ගලයින් සංඛ්‍යාව, ශ්‍රම බලකායේ ප්‍රතිශතයක් ලෙස ගත්විට විරැකියා අනුපාතය ලෙස හදුන්වනු ලබනවා.

2017 වසරේ පළමු වන කාර්තුවේදි ඇස්තමේන්තුගත රැකියා වියුක්ති අනුපාතය 4.1% .

2017 වසරේ පළමුවන කාර්තුවට අදාළ ශ්‍රම බල සංඛ්‍යාති පිළිබද තොරතුරු ඇතුලත් සංක්ෂිප්ත වාර්තාවක් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි (www.statistics.gov.lk) ප්‍රකාශයට පත් කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්  ආචාර්ය ඒ. ජේ. සතරසිංහ පවසනවා
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE