2012 ජූලි 08 ඉරිදා- පස්වරු 09:31
පසුගිය බදාදා ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍ර කණ්ඩායම රැස්වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන්. ජනාධිපතිවරයා වේලාවට පැමිණියත්, බොහෝ මන්තී‍්‍රවරුන් පැමිණ සිටියේ නැහැ. පැය බාගයක් පමණ ජනාධිපතිවරයා බලා සිට කණ්ඩායම් රැස්වීම ආරම්භ කළේ තරමක් කේන්තියෙන් යුතුවයි. පළමුවෙන් කතාබහට ලක්වූයේ වව්නියාව බන්ධනාගාරයේ සිද්ධියයි. එහිදී පුනරුත්ථාපන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර කරුණු පැහැදිලි කළා
ජනාධිපතිතුමනි, බන්ධනාගාරේ තිබිලා ජංගම දුරකතන තොගයකුත් හමුවුණා.
බන්ධනාගාරේ ඇතුලට කොහොන්ද ජංගම දුරකතන ?
ජනාධිපතිවරයා එසේ විමසනවාත් සමග අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් හඬ අවදි කළා.
පුදුම වැඬේ කියන්නේ ජනාධිපතිතුමනි, සමහර සිරකරුවන් මටත් සමහර වෙලාවට ටෙලිෆෝන් කරනවනේ
එවිට කතාබහට සම්බන්ධ වූයේ මර්වින් සිල්වා අමාත්‍යවරයායී.
බන්ධනාගාර ඇතුලේ සුඛෝපභෝගී කාමර ටිකක් හැදෙනවා නම් හොඳයි. එතකොට අපිටත් ඉඳලා හිටලා ගිහිල්ලා එන්න පුළුවන් ඒවට.
මෙසේ කතාබහ ඇදී යද්දී, එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍ර විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කිරීමට යෝජිත පෞද්ගලික මන්තී‍්‍ර යෝජනාව පිළිබඳවද අවධානය යොමුවුණා. එහිදී ජනාධිපතිවරයා හෙළ උරුමයට ලබාදුන් පිළිතුරම ලබාදුන්නා. කෙසේ වෙතත්, පසුව ඇමති බන්දුල ගුණවර්ධන සම්බන්ධයෙන් මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකුම දොස් කියන්නට පටන් ගත්තා. පළමුවෙන්ම දෝෂාරෝපණය ඉදිරිපත් කළේ වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජයරත්න හේරත්.
ගමේ ඉස්කෝලෙට ළමයෙක් දාගන්න බැරි නම් අපේ ඇමතිකම්, මන්තී‍්‍රකම්වලින් ඇති වැඬේ මොකක්ද ?
එහිදී ජනාධිපතිවරයා ප‍්‍රශ්නය වෙනතකට යොමුකළා.
අධ්‍යාපන ඇමතිතුමත් මෙතන ඉන්නවනේ එයාටම කියන්න.
එයාට කියලා වැඩක් නෑ ජනාධිපතිතුමනි, ඒකයි ඔබතුමාට කියන්නේ
මෙහිදී ඇමති බන්දුල කට හඬ අවදි කළා.
මැති ඇමතිවරුන්ගේ ඉල්ලීම් සලකා බලන්න මම වෙනම ලේකම්වරයෙක් දාලා තියෙන්නේ. එයත් එක්ක බේර ගන්න පුළුවන්.
මෙහිදී නිල්වලා විජේසිහ මන්තී‍්‍රවරයාද දෝෂාරෝපණයක් ඉදිරිපත් කළා.
ජනාධිපතිතුමනි, මට මගේ ළමයි දෙන්නවත් ඉස්කෝලෙකට දාගන්න බැරිවෙලා තියෙන්නේ.
කීයේ පන්තියටද ?
පහේ පන්තියටයි, හයටයි.
එහිදී අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙසේ සඳහන් කළා.
හයට ළමයි දාන්න බෑ.
එහිදී ජනාධිපතිවරයා මෙවැනි උපදෙසක් ලබාදුන්නා.
හයට බැරිවුණාට පහට දාන්න පුළුවන්නේ. ඒකට දාලා දෙන්නකෝ.
මෙයා ඉල්ලලා තියෙන්නේ විශාඛා එක. දැන් ඒකට ළමයි දාන්න බෑ. සිරිමාවෝ එක බලන්නම්.
ඇමති බන්දුල එසේ කියනවාත් සමග ජනාධිපතිවරයා අවධාරණාත්මකව මෙසේ සඳහන් කළා.
එහෙම නෙමෙයි බන්දුල, මන්තී‍්‍ර කෙනෙක් වුණහම තමන්ගේ ළමයි හරි ඉස්කෝලෙකට දාන්න පුළුවන් වෙන්න ඕන. ඒක නිසා ඔන්න ඕක කරලා දෙන්න.
මෙහිදී මර්වින් සිල්වා අමාත්‍යවරයා යළිත් මෙම කතාබහටද මැදිහත් වුණා.
ජනාධිපතිතුමනි, මම යෝජනාවක් ගේන්නම්. දැන් බන්දුල ඇමතිතුමාට බනින හින්දා, තාවකාලිකව අධ්‍යාපන ඇමතිකම වෙන ඇමතිවරයෙකුට දෙමු. එතකොට තත්වේ වෙනස් වෙන හැටි බලමු.
එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ, මර්වින් සිල්වා ඇමතිවරයා කිසි විටෙකත් නොසිතූ දෙයක්.
හරි ඔයා අධ්‍යාපන ඇමතිකම භාර ගන්න.
ඔබතුමා හදන්නේ හෙන ගහන වෙලාවට එලියට දාලා, හෙන ගැහිල්ල නැවතුනාම ආයිත් ඇතුලට ගන්නද ? අනේ ජනාධිපතිතුමනි, මාව ඕවාට ගාව ගන්න එපා.