හෑන්ඞ් බෑග් ඇතුළේ විරෝධතා පෝස්ටර්.

Saturday, 26 November 2011 - 20:33

%E0%B7%84%E0%B7%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A+%E0%B6%B6%E0%B7%91%E0%B6%9C%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A.

පසුගිය සඳුඳා (21) රටට මෙන්ම පාර්ලිමේන්තුවටද වැදගත් දිනයක් වූයේ 2012 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනය වීම නිසයි. එදින මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයට පැමිණියේ නියමිත වේලාවට පැය බාගයකට පමණ කලින්. නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන යන අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩිද, ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේද අනෙකුත් මැති ඇමතිවරුද ජනාධිපතිවරයාව උණුසුම් අයුරින් පිළිගත්තා. ජනාධිපතිවරයා එහිදී අවට සිටි මාධ්‍යවේදීන්ටද ඉඟියක් දුන්නා.

ඔයාලටත් අද හොඳ දවසක්.

ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමීණී සෙනරත්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දර යන නිලධාරීන්ද ඒ වනවිට පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයට පැමිණ සිටියා.

මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙමින් තිබුණා. එහිදී පළමුවෙන්ම කතා කළේ විපක්ෂ නායකවරයායී.

අපිට තීරණ දෙකක් ගන්න තියෙනවා, එකක් තමයි අයවැය ඉදිරිපත් කරන විට සභා ගර්භයේ රැඳී ඉන්නවද කියන එක. අනික ඉන් පසුව පැවැත්වෙන තේ පැන් සංග‍්‍රහයට සහභාගී වෙනවද කියන එක.

ඉන් පසු එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකවරයෙකු වන සජිත් පේ‍්‍රමදාස මන්තී‍්‍රවරයා අදහස් දැක්වූවා.

අයවැය කතාවට සවන්දෙන අතරතුර මතුවෙන මතුවෙන අවස්ථාවල විරෝධය දක්වමු.

කෙසේ වෙතත්, කළුතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නීතිඥ අජිත් පී. පෙරේරා ඊට වෙනස් මතයක් දැරුවා.

අපි අයවැය කතාව අහගෙන හිටියොත් ජනාධිපතිතුමා කියන ඒවට එකඟ වුණා වෙනවා. ඒ නිසා විරෝධය පළ කරමු.


ජෝශප් මයිකල් පෙරේරා මන්තී‍්‍රවරයාද එම මතයම දැරූ අතර, පසුව කතා කළේ මංගල සමරවීර මන්තී‍්‍රවරයායි.

අපි අයවැය කතාව පටන් ගත්තහම විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරන්න පටන් ගනිමු. ඉන් පස්සේ එලියට යමු. එතකොට ප‍්‍රවෘත්තියක්වත් හැදෙනවා.

පසුව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මන්තී‍්‍රවරයා ඊට අඩුවැඩිය එක් කළා.

ඒ විදියට විරෝධය පළ කරලා යමු. අපි අපේ මාධ්‍ය මධ්‍යස්ථානයට ගිහිල්ලා මාධ්‍යවේදීන්ට කරුණු පැහැදිලි කරලා එතනදී තේ පැන් සංග‍්‍රහය භුක්ති විඳිමු.

ජනාධිපතිවරයා අයවැය කතාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ පස්වරු 1.53 ටයි. එතෙක් ජනාධිපතිවරයා තම පාර්ලිමේන්තු ජීවිතයේ රසවත් සිදුවීම් කියමින් සතුටින් සිටින අයුරු දකින්න ලැබුණා. එහිදී කුමාරසිරි හෙට්ටිගේ තමන් සොයාගත් කරුණක් ඉදිරිපත් කළා.

සර්, අද විපක්ෂයේ පිරිසක් මොනවද පෝස්ටර් වගයක් පෙන්නලා විරෝධයක් පළ කරන්න හදනවා.

ඕවට කලබල වෙනවද මං, අපේ අයටත් කියන්න  ඕවා ගණන් ගන්න එපා කියලා.  ඕවා අපට පුරුදු දේවල්. මමත් කැමතියි විපක්ෂය ටිකක් පන ගහලා එනවට.


ජනාධිපතිවරයා එසේ කියද්දී, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ප‍්‍රකාශ කළේ මෙවැනි අයවැය සඳහා විපක්ෂය කොහොමත් කලබල වන බවයි. ඒ අයට වාසියක් නොමැති නිසා එවැනි දේවල් කරන බවත් ඔහු කියා සිටියා. බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ සහ නාමල් රාජපක්ෂ මන්තී‍්‍රවරයාගේ අදහස වූයේ අයවැයේ තිබෙන දේ නොදැන කලබල කිරීම විපක්ෂයට නොගැලපෙන බවයි.

හරියටම පස්වරු 1.53 වනවිට ජනාධිපතිවරයා සභා ගර්භය වෙත ගියේ සිනාමුසු මුහුණින් අවට සිටි මාධ්‍යවේදීන්ටද ආචාර කරමින්.

අයවැය කතාව ආරම්භවීමත් සමග විපක්ෂයේ බාධා කිරීම් පැමිණෙන්නට වුණා. එහෙත් ජනාධිපතිවරයා කලබල නොවී අයවැය කතාව කරගෙන ගියා. විපක්ෂයේ මන්තී‍්‍රවරුන් විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරන්න පටන් ගත් අතර, ඒවා පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ තිබුණේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියන්ගේ අත්බෑගයන් ඔස්සේ බව පසුව මාධ්‍යවේදීන්ට අනාවරණය වුණා. රෝසි සේනානායක, අනෝමා ගමගේ, චන්ද්‍රානි බණ්ඩාර මන්තී‍්‍රවරියන්ගේ අත්බෑගයන් ඔස්සේ මේවා පැමිණෙන්නට ඇති බව සිතාගත හැකියි. කෙසේ වෙතත්, තිස්ස අත්තනායක සහ ජයලත් ජයවර්ධන එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන්වගේ ලිපි ලේඛන පාර්ලිමේන්තුවේ ආරක්ෂක අංශය පරීක්ෂා කර තිබූ අතර, ඇතැම් විරෝධතා ලිපි ලේඛන ඔවුන් තම භාරයට ගත් බව සඳහන් වුණා.

එක්සත් ජාතික පක්ෂය විරෝධය පළ කිරීමත් සමග මාධ්‍යවේදීන්ට දක්නට ලැබුණේ දිලූම් අමුණුගම මන්තී‍්‍රවරයා පැමිණ ජෝන් අමරතුංග විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා අත තිබු විරෝධතා පෝස්ටරය උදුරා ගැනීමට උත්සාහ දරන අන්දමයි. දිලූම් අමුණුගම මන්තී‍්‍රවරයා විපක්ෂය පැත්තේම පසුපෙළ අසුනක සිටීම ඊට පහසුවක් වුණා. නියෝජ්‍ය ඇමති ලලිත් දිසානායක පැමිණ ජයලත් ජයවර්ධන මන්තී‍්‍රවරයාගේ විරෝධතා පෝස්ටරය උදුරා ගැනීමට උත්සාහ දැරූ අතර, විපක්ෂයේ හරීන් ප‍්‍රනාන්දු සහ ආණ්ඩු පක්ෂයේ ලොහාන් රත්වත්තේ මන්තී‍්‍රවරුන් අතර උණුසුම් තත්ත්වයක් උද්ගත වුණා. එම අවස්ථාවේ පාර්ලිමේන්තුව එකම ගාලගෝට්ටියක් බවට පත්වු අතර, වතුර බෝතලයක් ජනාධිපතිවරයාගේ හිසට ඉහළින් පියඹා යන අයුරුද දක්නට ලැබුණා.

උඩින් වතුර බෝතලයක් ගියා, පාර්ලිමේන්තු පොලිසියට කියන්න සොයා බලන්න කියලා.


එවැනි උපදෙසක් දුන් ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරුන්ටද උපදෙස් දුන්නා.

අපේ අය මේ පැත්තට එන්න. කලබලවෙන්න  ඕන නෑ. අන්න ප‍්‍රබල විපක්ෂයක්. අපි සතුටු වෙන්න  ඕනේ ඒකට.

මේ අවස්ථාවේ කතානායක චමල් රාජපක්ෂ විපක්ෂයේ හැසිරීම නිවැරදි කිරීමට දැඩි වෙහෙසක් ගත් අතර, පසුව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ සංඥාව මත එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් සභා ගර්භයෙන් නැගිට ගියා. ජනතා විමුක්ති පෙරමුණේ මන්තී‍්‍රවරුන් පසුව යළි පැමිණි අතර, ටී.එන්.ඒ. මන්තී‍්‍රවරුන් අඛණ්ඩව සභා ගර්භයේ සිටියා. ඊට ජනාධිපතිවරයා මෙසේ ප‍්‍රතිචාර දැක්වූවා.

ටී.එන්.ඒ. මන්තී‍්‍රවරු දිගටම සභා ගර්භයේ ඉන්න එක ගැන අපි ස්තූති කරන්න  ඕනේ. විපක්ෂ නායකවරයා අත උස්සනවත් එක්ක තමා එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරු විරෝධය පළ කළේ. ඒ සමගිය ගැන අපි සතුටු වෙන්න  ඕනේ.

අයවැය අවසන්වීමෙන් පසුව මාධ්‍යවේදීන් පළමු මහලේ රැඳී සිටියේ පැමිණෙන පක්ෂ විපක්ෂ මන්තී‍්‍රවරුන්ගෙන් අයවැය පිළිබඳ අදහස් විමසා දැන ගැනීමටයි. එවිටම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද පැමිණියා. ඔහු පුස්තකාලය දෙසට ගමන් කරමින් සිටි අතර, ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මන්තී‍්‍රවරයා ද එම ස්ථානයේ සිටියා. දෙදෙනා ලං වනවිට මාධ්‍යවේදීන් ඡායාරූප ගත් අතර, දෙදෙනාම සිනහමුසු මුහුණින් ඊට මුහුණ දුන්නා. එම ස්ථානයට පැමිණි අමාත්‍ය පි‍්‍රයංකර ජයරත්න, අනුර දිසානායක මන්තී‍්‍රවරයාට මෙසේ ප‍්‍රකාශ කළා.

එන්න එන්න, හෙට අනිද්දා අපිට එකතු වෙන්නනේ ඉන්නේ.

අයවැය කතාව අවසන් වී ජනාධිපතිවරයා ගියේ තේ පැන් සංග‍්‍රහයටයි. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් එහි සිටියේ නැහැ.

විපක්ෂයේ මන්තී‍්‍රවරුන් එක්ක තේ බොන්න හිතාගෙනයි ආවේ. ඒත් ඒ අය ගිහිල්ලනේ. ඒ අය නැති වුණාම මටත් කම්මැලියි.

හැමෝම ගිහිං නෑ. දෙමළ සන්ධානයේ අයයි, ජේ.වී.පී. අයයි ඉන්නවා සර්.


ඇමතිවරුන් එසේ කියද්දී, ජනාධිපතිවරයා ආර්. සම්බන්ධන් මන්තී‍්‍රවරයා දෙසට හැරී ඔහු සමග සුහද කතා බහක් ආරම්භ කළා.