රනිල් ළඟ රහසක්.

Saturday, 03 December 2011 - 19:42

%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%85%E0%B6%9F+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A.

පසුගිය සිකුරාදා (25) එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් කොළඹ කොටුවේදී පැය එකහමාරක් තුළ අත්පති‍්‍රකා දස දහසක් ජනතාව අතර බෙදා දුන්නා. ආණ්ඩුවේ කි‍්‍රයා කලාපයන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ මෙම අවස්ථාවට ජයලත් ජයවර්ධන, රුවන් විජේවර්ධන, පාලිත තෙවරප්පෙරුම මෙන්ම ජයන්ත කැටගොඩ මන්තී‍්‍රවරයාද එක්ව සිටියා.

 

සෙනසුරාදා (26) විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් ජාතික සේවක සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පිටකෝට්ටේ එම සංගම් මූලස්ථානයේදී රැස්වුණා. ඊට තිස්ස අත්තනායක, ජයලත් ජයවර්ධන මෙන්ම සිරිනාල් ද මෙල් ද එක්ව සිටියා. එහිදී විපක්ෂ නායකවරයා මෙසේ සඳහන් කළා.

 

අයවැයේදී ජනතාවට සහනයක් නෑ, ඒකට විරෝධය පළ කරන්න  ඕනේ. 29 වැනිදා පවත්වන විරෝධතාවයට අපේ වෘත්තීය සමිති සාමාජිකයෝ සහභාගීවෙන්න  ඕනේ.

 

මෙම රැස්වීම අවසන් වූයේ විපක්ෂ නායකවරයා, තිස්ස අත්තනායකවද සිය රථයේ නංවාගෙන මහනුවර බලා ගියා. ඒ, අභාවප‍්‍රාප්ත හිටපු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමටයි. ඒ වනවිට මහයියාව නිවසට කතානායකවරයා මෙන්ම නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන ද පැමිණ සිටියා. පවුලේ ඥාතීන්ට ශෝකය ප‍්‍රකාශ කර ටික වේලාවක් රැඳී සිටි විපක්ෂ නායකවරයා පසුව දිවා භෝජනය සඳහා ගියේ මහනුවර මලික් සමරවික‍්‍රමගේ නිවසටයි.

 

ඉරිදා දිනයේ (27) විපක්ෂ නායකවරයා සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් අතර සාකච්ජාවක් විපක්ෂ නායක නිල නිවසේදී පැවැත්වුණා. ඊට තිස්ස අත්තනායක මෙන්ම දයා පැල්පොලද එක්ව සිටියා. කොළඹ මහ නගර සභාව පාලනය කිරීමේදී ඊට මනෝගේ පක්ෂයේ මන්තී‍්‍රන්ගේ සහය ලබා ගැනීම මෙහිදී කතාබහට ලක්වුණා. කෙසේ වෙතත්, මනෝ ගනේෂන් විපක්ෂ නායකවරයා වෙත ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කළා. ඒ ගැන සොයා නිර්දේශදීමට තිස්ස අත්තනායක, රවී කරුණානායක, තිලක් මාරපන, දයා පැල්පොල, මලික් සමරවික‍්‍රමගෙන් යුත් කමිටුවක්ද විපක්ෂ නායකවරයා විසින් පත්කළා.

 

සඳුඳා (28) විපක්ෂ නායකවරයාගේ පාර්ලිමේන්තු කාර්යාලයේ සජිත් පේ‍්‍රමදාස, තිස්ස අත්තනායක, දයාසිරි ජයසේකර, ජයලත් ජයවර්ධන ආදී මන්තී‍්‍රවරුන් රැස්වූයේ 29 වැනිදා පවත්වන උද්ඝෝෂණය පිළිබඳ සාකච්ජා කිරීමටයි. එහිදී තිස්ස අත්තනායක, අනෝමා ෆොන්සේකාට කළ ආරාධනය පිළිබඳ කරුණු පැහැදිලි කළා.

 

මම උද්ඝෝෂණයට අනෝමාට ආරාධනා කළා. තුන් වතාවක් ඒ ගැන කිව්වා. ඒ හැම වෙලාවෙම එයා ඒ ආරාධනාව භාර ගත්තා.

 


මෙහිදී නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මෙන්ම, දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයාද සමාන අදහස් පළ කළා.

 

එයා නාවොත් සරත් ෆොන්සේකා වෙනුවෙන් ඒ අය කරන වැඩවලට අපි සහභාගී නොවිය යුතුයි.

 

කෙසේ වෙතත්, ඔවුන් යෝජනා කළේ සරත් ෆොන්සේකා වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය වෙනම වැඩසටහන් දියත් කළ යුතු බවයි. එහිදී විපක්ෂ නායකවරයා මෙසේ සඳහන් කළා.

 

ඔව්, ඔහු වෙනුවෙන් අපි කරපු දේවල් ඔවුන්වත්, ජවිපෙවත් කළේ නෑ. අන්තර් පාර්ලිමේන්තු සංගමයට අපියි කිව්වේ. එක්සත් ජාතීන්ට අපි කිව්වා. යූ.එන්.පී. ය තරම් ඒකට කවුරුත් කැප වුණේ නෑ.

 

අඟහරුවාදා (29) උදෑසන 10 වනවිට සවස හයිඞ් පිටියේ පැවැත්වෙන උද්ඝොෂණය පිළිබඳ සියලූ තොරතුරු මහ ලේකම් තිස්ස අත්තනායක මන්තී‍්‍රවරයා වෙත දැන ගන්නට ලැබුණා. ඒ අනුව ඔහු විපක්ෂ නායකවරයාට දැන්වූයේ දස දහසකට අධික පිරිසක් කොළඹට රැස්වන බවයි. ඒ අනුව විහාරමහාදේවී උද්‍යානය අසලින්, ඞීන්ස් පාරෙන්, ඞී.ආර්. විජේවර්ධන මාවතෙන්, වොක්ෂෝල් වීථියෙන් පිරිස හයිඞ් පිටියට එක්වුණා. රැස්වීමට අනෝමා ෆොන්සේකා සහභාගී වී සිටියේ නැහැ. රැස්වීමෙන් අනතුරුව ලිප්ටන් වටරවුම වෙත ගොස් විරෝධතාවක් පළ කිරීමට ද එජාපය කි‍්‍රයා කළා.

 

කෙසේ වෙතත්, බ‍්‍රහස්පතින්දා (01) පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. රැස්වීම පැවැත්වෙද්දී විනය පරීක්ෂණයකට ලක්ව සිටින බුද්ධික පතිරණ මන්තී‍්‍රවරයා ඇතුළට පැමිණි අතර, එහිදී විපක්ෂ නායකවරයා මෙවැනි ප‍්‍රකාශයක් කළා.

 

ඔයාට යන්න බැරිනම් ඉන්න, හැබැයි ඔයා මෙතන ඉන්න එක ඔයාගේ විනය පරීක්ෂණයට බාධාවක්. මෙතන හිටියොත් මම මේ රැස්වීම අතරමඟ නතර කරනවා.

 

කෙසේ වෙතත්, විපක්ෂ නායකවරයා ඊට පෙර මෙවැනි ප‍්‍රකාශයක් ද කළා.

 

අනෝමා ෆොන්සේකාට යූ.ඇන්.පී. විරෝධතාවයට එන්න එපා කිව්වේ කවුද කියලා මම දන්නවා.

 


එහිදී නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස එම නම හෙළි කරන ලෙස ඉල්ලා සිටියා.

 

මම ඒක තිස්ස අත්තනායක ඉන්න තැනක කියන්නම්, එයා මෙතන නෑනේ.

 


කෙසේ වෙතත්, කණ්ඩායම් රැස්වීම අතරමඟ නතර කළ විපක්ෂ නායකවරයා එම ස්ථානයෙන් පිටව ගියා.