ජවිපෙන් ටෝකන් එකක්.

Saturday, 03 December 2011 - 19:46

%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A7%E0%B7%9D%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A.

පසුගිය බදාදා (30) ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව පැලවත්ත මූලස්ථානයේදී රැස්වුණා. මෙම රැස්වීමට ජවිපෙ කැරළිකාර කණ්ඩායමේ කිහිප දෙනෙකුට ලිපි එවා තිබුණත්, පුබුදු ජයගොඩ සහ දිමුතු ආටිගලට ලිපි ලැබී තිබුණේ නැහැ. එහෙත් මධ්‍යම කාරක සභාව රැස්වන බවට ජනමාධ්‍ය මගින් හෙළිකර තිබුණා. කැරළිකාර පාර්ශවය නියෝජනය කරන ජී. කුලරත්නගේ ලිපිය ඔහුට ලැබුණේද 29 වන අඟහරුවාදායී. පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් කුමාර ලිපිනය වරදවා සටහන් කර තිබූ අතර, මීට පෙර පක්ෂය එවූ ලිපි නිවැරදි ලිපිනයට එවා තිබුණා. කෙසේ වෙතත්, වරුණ රාජපක්ෂ හැර කැරළිකාර පාර්ශවය නියෝජනය කරන මධ්‍යම කාරක සභිකයන් 08 දෙනෙකු එකම වෑන් රථයකින් පක්ෂ මූලස්ථානයට ගියා. වරුණ රාජපක්ෂ විදේශගත වී සිටියේ ඉල්මහ විරු සමරුවලට සහභාගීවීමටයි. පුබුදු ජයගොඩ, දිමුතු ආටිගල, ජී. කුලරත්න, චමීර කොස්වත්ත, දුමින්ද නාගමුව, අජිත් කුමාර, දිමුතු අබේකෝන් සහ එස්.කේ. සුබසිංහ මෙසේ පැමිණි සාමාජිකයන් වුණා. මැතිවරණ කොමසාරිස්වරයාට ලබා දී ඇති ලිපි ලේඛණ අනුව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභිකයන් සංඛ්‍යාව 23 ක්. ඉන් 09 දෙනෙක්ම කැරළිකාර පාර්ශවය නියෝජනය කරනවා.

 

මෙම 09 දෙනා පක්ෂ මූලස්ථානයට පැමිණෙන විට දක්නට ලැබුණේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් යොදා ඇති බවයි. පක්ෂයේ ආරක්ෂක කටයුතුවලට යොදා ඇති පිරිසක් කළු කලිසම් සහ සුදු කමිස හැඳ එහි සිටියා. මීට අමතරව, තවත් 150 දෙනෙකු පමණ එහි සිටිනු දක්නට ලැබුණා. චමීර කොස්වත්ත පළමුවෙන් හඬ අවදි කළා.

 

මේක මධ්‍යම කාරක සභාවක්ද, රැළියක්ද ?

 

පියගැටපෙළ නැග ඉහළ මහලට පිරිස පැමිණි අතර, මධ්‍යම කාරක සභාව සූදානම් කර තිබුණේ එම මහලේයී. කෙසේ වෙතත්, රැස්වීම පැවැත්වෙන කාමරයට ඇතුළුවීමට උත්සාහ ගනිද්දී එහි සිටි දෙදෙනෙක් ශරීර පරීක්ෂා කිරීමට උත්සාහ කළා. සාරි හැඳගත් ජවිපෙ සාමාජිකාවන් දෙදෙනෙක් පැමිණෙන පිරිසගේ මළු රැගෙන ඔවුන්ට ටෝකන් එකක් නිකුත් කිරීමට සූදානමින් සිටියා. කෙසේ වෙතත්, කැරළිකාර පාර්ශවය පවසන්නේ මෙවැනි ටෝකන් නිකුත් කිරීමක් මීට පෙර කිසි දිනෙක ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී සිදුවී නොමැති බවයි. එහිදී දිමුතු අබේකෝන් මෙවැනි ප‍්‍රශ්නයක් විමසුවා.

 

පක්ෂ මූලස්ථානය ප‍්‍රයිවට් කම්පැනියක් වෙලා ද ?

 


ජී. කුලරත්නව ශරීර පරීක්ෂාවට ලක් කිරීමට උත්සාහ ගනිද්දී,

 

මොකක්ද අරමුණ........

 

ඔහු විමසුවා.

 

අපිට ඉහළින් කියලා තියෙන්නේ චෙක් කරන්න.

 

කවුද නියෝගය දුන්නේ......

 

එවිටම ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා එම ස්ථානයට පැමිණියා. එහිදී පුබුදු ජයගොඩ ප‍්‍රශ්නයක් විමසුවා.

 

මොකක්ද මේකේ තේරුම....

 


එහිදී ටිල්වින් සිල්වා දුන්නේ මෙවැනි පිළිතුරක්.

 

මේක සංවිධාන තීරණයක්.

 


පක්ෂයේ ඉහළම සංවිධානය පක්ෂයේ මධ්‍යම කාරක සභාව. මේ ශරීර පරීක්ෂාවට ඊටත් ඉහළින් ඇති සංවිධානයක් තීරණයක් ගන්න  ඕනේ නේ.

 

ටිල්වින් සිල්වා ඊට මෙවැනි පිළිතුරක් දුන්නා.

 

මාවත් පරීක්ෂා කරලා ගත්තේ.

 


එතැන සිටි එස්.කේ. සුබසිංහ ඊට ප‍්‍රතිචාර දැක්වූවා.

 

අයියව චෙක් කරන්නේ කාව පරිස්සම් කරන්න ද ?

 


අජිත් කුමාර මන්තී‍්‍රවරයා එහිදී ප‍්‍රකාශ කළේ මෙවැන්නක්.

 

අපිව චෙක් කරන්න  ඕගොල්ලන්ගේ ගෝලයේ දානවා නම් ඔයාලව චෙක් කරන්න, අපේ කට්ටියත් ගේන්න වෙයි.

 

එසේ කියමින් ඔහු මධ්‍යම කාරක සභාව පැවැත්වෙන කාමරයට යාමට උත්සාහ ගනිද්දී, අවට සිටි දෙදෙනෙක් පැන ඔහුගේ දෑත්වලින් අල්ලා ගත්තා. ඇතුලට යාමට නොදී බාධා කරද්දී, දුමින්ද නාගමුව මෙසේ සඳහන් කළා.

 

පක්ෂ මූලස්ථානය කෝලම් මඩුවක් කරගෙන.

 


පසුව කැරළිකාර කණ්ඩායමේ මධ්‍යම කාරක සභිකයන් ආපසු යාමට හැරුණු අතර, දිමුතු ආටිගල මෙවැනි ප‍්‍රකාශයක් කළා.

 

ප‍්‍රජාතන්ත‍්‍රවාදී විදියට මධ්‍යම කාරක සභාව රැස්වෙන දවසක් කියන්න, අපි එදාට එන්නම්.

 


කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විමසීමේදී ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පසුව මාධ්‍යවෙත පැවසුවේ ජංගම දුරකතන ගෙනයාමට කැරළිකාර පාර්ශවය උත්සාහ කළ අතර, ඊට විරෝධය දැක්වු නිසා ඔවුන් පිටව ආ බවයි. කෙසේ වෙතත්, කැරළිකාර පාර්ශවය පවසන්නේ හදිසි දැනුම්දීමක් කිරීම සඳහා මධ්‍යම කාරක සභිකයන් අදාළ රැස්වීමට මීට පෙර ජංගම දුරකතන ගෙනගොස් ඇති බවයි.

 

කෙසේ වෙතත්, ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ මෙම පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පක්ෂයෙන් ඉවත්ව ගිය කණ්ඩායමේ මධ්‍යම කමිටු සාමාජිකයන්ට ඇරයුම් කර තිබූ බවයි. කෙසේ වෙතත්, රැස්වීම ආරම්භවීමටත් පෙර ගැටළුකාරී තත්ත්වයක් මතුකර ගනිමින් ඔවුන් ඉවත්ව ගිය බව එම පක්ෂය සඳහන් කළා. කෙසේ වෙතත්, අවසානයේ මධ්‍යම කාරක සභාව රැස්වුණා. ඒ, පපක්ෂ නායක සෝමවංශ අමරසිංහගේ යෝජනාවක් සෙසු මධ්‍යම කමිටු සාමාජිකයන් ඒකමතිකව සම්මත කර ගැනීමෙන්. එහිදී සෝමවංශ අමරසිංහ තමන් සහභාගී වූ විදෙස් ඉල්මහ විරු සමරු පිළිබඳව අදහස් දැක්වූවා. සයිප‍්‍රසයේ, ඩෙන්මාර්කයේ සහ එක්සත් රාජධානියේ පැවැත්වූ සමරු ඉතා සාර්ථක වූ බව ඔහු සඳහන් කළා. සයිප‍්‍රසයේ පාලක පක්ෂයේ ලේකම් සමගද ඔහු සාකච්ජා කර ඇති අතර එහි අකේල් පක්ෂය සමග ඉදිරියට සහයෝගයෙන් වැඩ කිරීමට එකඟතාවක් ඇතිකරගෙන තිබෙනවා. විශේෂයෙන් සයිප‍්‍රස් ජාතික ප‍්‍රශ්නය සාකච්ජාවේදී අවධානයට ලක්වු අතර, බෙදුණු සයිප‍්‍රසය යළි එක්කිරීමට එරට ජනාධිපති අකේල් පක්ෂයේ හිටපු ප‍්‍රධාන ලේකම් කි‍්‍රස්තෝ නියාස් දියත් කර ඇති ධෛර්යයමත් වැඩපිළිවෙල සෝමවංශගේ ඇගයීමට ලක්වුණා. මීට අමතරව සයිප‍්‍රසයේ විදේශ අමාත්‍යාංශය සමගද සාකච්ජා කර එරට සිටින ශී‍්‍ර ලාංකිකයන්ගේ සුබසාධනය ගැන අවධානය යොමුකරවා තිබෙනවා.

 

පසුව කතා කළේ ටිල්වින් සිල්වායි.

 

දැනට මතු වී තිබෙන ගැටළුකාරී තත්ත්වය නිසා පක්ෂය විවේචනය කිරීම, නායකයින් විවේචනය කිරීම, පසුගිය කාලයේ ගත් දේශපාලන තීන්දු විවේචනය කිරීම, වැරදි සහගත ලෙස අදහස් දැක්වීම ගැන විශේෂ අවධානයක් යොමුකළ යුතුයි.

 


එහිදී මධ්‍යම කමිටු සාමාජිකයන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් විශේෂ තීරණ 03 ක් ගෙන තිබෙනවා. ඒ අනුව මධ්‍යම කමිටු සාමාජිකයන් පක්ෂය සහ නායකත්වය විවේචනය කරමින් රැස්වීම්වල, මාධ්‍ය හමුවල මෙන්ම මාධ්‍ය සම්මුඛ සාකච්ජාවල අදහස් දැක්වීම වහාම නතර කළ යුතුයි. එවැනි අදහස් දැක්වීමක් කරන්නේ නම්, පක්ෂයේ නිසි අවසරය ලබාගත යුතු බවටත් තීරණය කෙරුණා. මීට අමතරව පක්ෂ ප‍්‍රතිපත්ති සහ විනය උල්ලංඝනය කරන්නන් ගැන සොයාබලා විමර්ෂනය කිරීමට විනය කමිටුවක් පත්කළා. ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් ප‍්‍රධානත්වය දරන එම කමිටුවේ සෙසු සාමාජිකයන් වන ජිනදාස කිතුලේගොඩ සහ ලක්ෂ්මන් නිපුනආරච්චියි.

 

පසුව බස්නාහිර පළාත් සභාවේ ජවිපෙ මන්තී‍්‍ර කණ්ඩායමේ නායකත්වය සඳහා නලින්ද ජයතිස්ස පත්කිරීමටද මෙහිදී තීරණය කෙරුණා. මෙතෙක් එහි නායකත්වය දැරුවේ කැරළිකාර කණ්ඩායම නියෝජනය කරන වරුණ රාජපක්ෂයි.