බුද්ධිකගේ වගකීම තිස්ස භාර ගනියි.

Friday, 09 December 2011 - 20:13

%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%92.

පසුගිය ඉරිදා (04) විපක්ෂ නායකවරයා පන්නිපිටියට ගියේ අභාවප‍්‍රාප්ත වූ ජාතික සේවක සංගමයේ හිටපු සභාපතිවරයෙකු වන නෙවිල් පෙරේරාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමටයි. ඉන් පසු රක්වානට පැමිණි ඔහු මෙත්තාරාම විහාරස්ථානයේ නව සමාධි පිළිමය නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්වුණා.

සඳුඳා (05) විපක්ෂ නායකවරයා එජාපයේ බලය ඇති බණ්ඩාරවෙල මහ නගර සභාවේ සභාපතිවරයා ඇතුළු මන්තී‍්‍රවරුන් සිරිකොතට කැඳවා තිබුණා. ආණ්ඩුව එම මහ නගර සභාවට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති අතර, ඊට මුහුණදිය යුතු ආකාරය එහිදී විපක්ෂ නායකවරයා පැහැදිලි කළා.

එදිනම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ මනෝ ගනේෂන් සමග එක්සත් ජාතික පක්ෂය කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් කෙටුම්පතක් සකස් කිරීමට පත්කළ කමිටුව වන තිස්ස අත්තනායක, මලික් සමරවික‍්‍රම, දයා පැල්පොල සහ රවී කරුණානායක විපක්ෂ නායකවරයා හමුවුණා. එහිදී එකඟ වූයේ මීළඟ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ප‍්‍රගතිය වාර්තා කිරීමටයි.

සඳුඳා දිනයේම එක්සත් ජාතික පක්ෂ උපදේශක කමිටුවද විපක්ෂ නායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් සිරිකොතේදී රැස්වුණා. ඊට නියෝජ්‍ය නායකවරුන් වන කරූ ජයසූරිය, සජිත් පේ‍්‍රමදාස මෙන්ම පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායකද එක්වුණා. එහිදී විපක්ෂ නායකවරයා මෙසේ සඳහන් කළා.

අපි කලින් එකඟ වුණා පළාත් පාලන ඡන්දෙන් පසු පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් කටයුතු කරන්න මුල පුරන්න. දැන් ඒක කරන්න  ඕනේ.

එහිදී තිස්ස අත්තනායක මන්තී‍්‍රවරයා, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පුරප්පාඩු පිරවීම සඳහා තමන් සැකසූ නිර්ණායක පැහැදිලි කළා.

පළාත් පාලන ආයතනවලින් 09 දෙනෙක් පත්කරන්න  ඕනේ. එයින් දෙදෙනෙක් කාන්තාවන් වෙන්නත්  ඕනේ. වෘත්තීය සමිතිවලින් 04 දෙනෙක්, ඒ වගේම අනුබද්ධ සංවිධානවලින් 03 දෙනෙක් පත්කිරීම වඩාත් හොඳයි.

මෙහිදී කරූ සහ සජිත් මෙසේ කියා සිටියා.

අපිට අවශ්‍ය විනිවිදභාවයයි. විනිවිදභාවයෙන් යුතුව මෙම පුරප්පාඩු පුරවනවා නම් කමක් නෑ. නිර්ණායක හදන්න කමිටුවක් පත් කිරීමත් වැදගත්.

අඟහරුවාදා (06) එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරූ ජයසූරියගේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම ගාලූ මුවදොර හෝටලයේදී සිදු කෙරුණා. එහිදී කරූ ජයසූරිය මන්තී‍්‍රවරයා ආරාධිත අමුත්තන් පිළිගැනීමට කොරිඩෝවට පැමිණ සිටීම විශේෂත්වයක් වුණා. ගරු ගාම්භීරව පැවති උත්සවයට විපක්ෂ නායකවරයා මෙන්ම සජිත් පේ‍්‍රමදාස, තිස්ස අත්තනායක ඇතුළු මන්තී‍්‍රවරුන්ද හිටපු මන්තී‍්‍රවරුන් පිරිසක්ද එක්ව සිටියා. විපක්ෂ නායකවරයා ඇතුළු පක්ෂයේ නායකයන් උත්සවයට සහභාගී වී කලින් පිටත්ව ගියේ පෙරවරු 11 ට පාර්ලිමේන්තුවේදී පක්ෂ කමිටුවක් රැස්වීමට නියමිතව තිබූ නිසයි. උද්ඝෝෂණ සම්බන්ධයෙන් වන එම කමිටු රැස්වීමට මංගල සමරවීර, හරීන් ප‍්‍රනාන්දු මෙන්ම ජයලත් ජයවර්ධන යන මන්තී‍්‍රවරුන් ද එක්වුණා.

කරූ ජයසූරිය මන්තී‍්‍රවරයාගේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවේදී විවිධ කථිකයන් ඔහු රටේ නායකයාවීමට සුදුසු බව ප‍්‍රකාශ කළ අතර, විපක්ෂ නායකවරයාට කතාවක් තිබුණේ නැහැ. කෙසේ වෙතත්, මෙහිදී කරූ ජයසූරිය මන්තී‍්‍රවරයා තමන් එක්සත් ජාතික පක්ෂයේ නායකයා වන බව තදින්ම විශ්වාස කරමින් කටයුතු කළ බව පෙනෙන්නට තිබුණා. එහිදී ඔහු ආණ්ඩුවෙන් යළි එක්සත් ජාතික පක්ෂයට පැමිණීමේදී ඔහුට එරෙහිව තිබූ විනය පරීක්ෂණය තාවකාලිකව අත්හිටවූ බව ඔහුට අමතක වූවාද යන්න ඇතමුන්ගේ කතාබහට ලක්වූවා.

පසුගිය බදාදා (07) එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොත මූලස්ථානයේදී රැස්වුණා. න්‍යාය පත‍්‍රයේ කරුණු 04 ක් තිබූ අතර, පළමුවැන්න වූයේ ආණ්ඩුවට එක්වු ගේ‍්‍රරු මන්තී‍්‍රවරයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමේ ප‍්‍රශ්නයයි. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පුරප්පාඩු පිරවීම, හයිඞ් පිටියේ විරෝධතාවයට නිසි දායකත්වය නොදැක්වු සංවිධායකයන් පිළිබඳ ගන්නා පියවර මෙන්ම මානව හිමිකම් දිනයේ පෙත්සමක් අත්සන් කිරීම යන කරුණු මෙහිදී සාකච්ජා කෙරුණා. මෙහිදී කරූ ජයසූරිය මන්තී‍්‍රවරයා, පක්ෂ නායකත්වයට තරග කිරීම පිළිබඳ කතාබහක් සිදුනොවූ අතර, සජිත් සහ කරූ ඉල්ලා සිටියේ බුද්ධික පතිරණගේ විනය පරීක්ෂණය කඩිනම් කරන ලෙසයි. එහිදී තිස්ස අත්තනායක මහ ලේකම්වරයා මෙසේ සඳහන් කළා.

ඒකේ වගකීම මම භාර ගන්නවා. බුද්ධිකට මම කීප සැරයක් කතා කළා. බුද්ධිකගේ ගෞරවය රැකෙන්නත්, පක්ෂය ආරක්ෂා වෙන්නත් නිසි පරිදි මම කටයුතු කරන්නම්.

කෙසේ වෙතත්, කෘත්‍යාධිකාරී මණ්ඩලය අවසන් වූයේ විපක්ෂ නායකවරයාගේ ප‍්‍රකාශයකින්.

සරත් ෆොන්සේකා පිළිබඳ මම සහ අපේ පක්ෂය තරම් වැඩ කළේ නෑ කවුරුත්. ඒත් සමහරු ඒ වැඩපිළිවෙල අවඥාවට ලක් කරනවා. එහෙම කරන අය ෆොන්සේකා ගැන පාර්ලිමේන්තුවේදී එක වචනයක් කතා කරලා නෑ.