කරු ඡන්ද 70ක සිහිනයක් දකී.

Friday, 23 December 2011 - 20:45

%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+70%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93.



පසුගිය සතියේ එක්සත් ජාතික පක්ෂයේ විශේෂතම සිදුවීම වූයේ පක්ෂ නායකත්වය සඳහා නිළවරණයක් පැවැත්වීමයි. එම ඡන්දයෙන් සාධාරණ අසාධාරණ බව පිළිබඳ මේ වන විට විවිධ කතාබහ ඇති වී තිබුණත් එදින සිදුවූයේ පැමිණ සිටි පිරිසක් පක්ෂයේ දේපළවලට විශාල හානියක් සිදුකිරීමයි. සිරිකොත ඉදිරිපිට බුදුපිළිමයට පවා ඉන් හානි සිදුවූවා. පසුගිය ඉරිදා (18) පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූයේ 2012 වසරේ නව නිලධාරී මණ්ඩලය පිළිබද කතා බහ කිරීමටයි. එහිදී පක්ෂ ලේකම් තිස්ස අත්තනායක මෙසේ සඳහන් කළා.

පක්ෂ නායක, නියෝජ්‍ය නායක, උප නායක, ජාතික සංවිධායක සහ සභාපති යන තනතුරු ලබන අවුරුද්දට පත් කර ගන්න  ඕනි. නායකත්වයට අද සවස 3 වෙනකම් නාම යෝජනා භාර ගන්නවා. අනෙක් තනතුරු සඳහා හෙට උදේ 10 වෙනකම් නාම යෝජනා දෙන්න පුළුවන්.

එහිදී නැගී සිටි පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මෙසේ කියා සිටියා.

නායකත්වයට මම ඉදිරිපත් වනවා. මට තව අවුරුදු කිහිපයක් දෙන්න. ඒ අවස්ථාව දුන්නම මම පක්ෂය ජයග‍්‍රාහී මාවතට ගෙන යන්නම්.

කෙසේ වෙතත් නියෝජ්‍ය නායක කරු ජයසූරිය කියා සිටියේ මෙවැන්නක්.

මමත් නායකත්වයට ඉදිරිපත් වනවා. මොකද ස්වේච්ඡා සංවිධාන, ප‍්‍රජාව මගෙන් ඒක ඉල්ලලා තියෙනවා.

පසුව කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ගේ අත්පොළසන් මැද රනිල් වික‍්‍රමසිංහ සහ කරු ජයසූරිය නායකත්වයට නාම යෝජනා භාර දුන්නා. නියෝජ්‍ය නායක ධුරයට සජිත් පේ‍්‍රමදාස හා රවී කරුණානායක මන්ත‍්‍රීවරුන් ද, ජාතික සංවිධායක ධුරයට දයාසිරි ජයසේකර සහ දයා ගමගේ ද නාම යෝජනා භාර දුන්නා. එහෙත් සභාපති ධුරයට ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මන්ත‍්‍රීවරයාත්, උප නායක ධුරයට ජෝශප් මයිකල් පෙරේරා මන්ත‍්‍රීවරයාත් පමණක් නාම යෝජනා දුන් නිසා ඔවුන් නිතරගයෙන් පත් වුණා.

කරු ජයසූරිය මන්ත‍්‍රීවරයා නායකත්වයට ඉදිරිපත් වන බව දැන ගත් මොහොතේ සිට පක්ෂ ලේකම් තිස්ස අත්තනායක මේ අවස්ථාවේ එවැනි ඉදිරිපත්වීමක් නොකරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියා.

සර්  ඕක කරන්න යන්න එපා. සර්ව අමාරුවේ වැටෙනවා.

නෑ නෑ. තිස්ස, මට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡුන්ද 70ක් තියෙනවා. ඔයත් මට උදව් කරන්න. නැත්නම් නිහඩව ඉන්න. මම නායකයා වුණාම මහලේකම් කරන්නෙත් ඔයාමයි.

තිස්ස අත්තනායක මන්ත‍්‍රීවරයා හතර වතාවක් කරු ජයසූරිය මන්ත‍්‍රීවරයාගෙන් නායකත්ව ඡුන්දයට ඉදිරිපත් නොවන ලෙස ඉල්ලා සිටියත් ඒ හැම අවස්ථාවකම කරුගේ පිළිතුරු වූයේ ඉහත පිළිතුරමයි.

කෙසේ වෙතත් සඳුදා (19) ඡන්ද විමසීම සිරිකොත මන්දිරයේ විපක්ෂ නායකවරයාගේ කාමරයේදී පැවැත්වුණා. දහවල් 12.30ට එය ආරම්භ වුවත් අවසන්වීමට පැය දෙක හමාරක පමණ කාලයක් ගත වුණා. ඡන්දය භාවිතා කිරීමට කොළ පාට, තැඹිලි පාට සහ ලා කහපාට ඡන්ද පෙට්ටි තුනක් තබා තිබුණේ නායකයා, නියෝජ්‍ය නායකයා සහ ජාතික සංවිධායක වෙනුවෙන් ඡන්දය භාවිතා කිරීමටයි. ඡන්ද පත‍්‍රිකා ද වර්ණ තුනකින් ද තිබූ අතර අපේක්ෂකයන්ගේ නම් භාෂා තුනෙන් මුද්‍රණය වී තිබුණා.

විපක්ෂ නායකවරයා හැර අනෙක් සියළු අපේක්ෂකයන් තම තමන්ගේ ඡන්ද පොළ නියෝජිතයන් ද පත් කර තිබූ අතර නායකයා වෙනුවෙන් තරග කළ අපේක්ෂකයන්ගේ ඡන්ද ගොඩවල් දෙකකට දමා අදාළ නියෝජිතයන්ට පරීක්ෂා කිරීමට ද ඉඩ ලබා දුන්නා. පසුව පක්ෂ නායකයා ලෙස රනිල් වික‍්‍රමසිංහ ද, නියෝජ්‍ය නායකයා ලෙස සජිත් පේ‍්‍රමදාස ද ජාතික සංවිධායක ලෙස දයා ගමගේ ද තේරී පත්වුණා.

මෙම ප‍්‍රවෘත්තිය ජනමාධ්‍ය ඔස්සේ වාර්තාවීමත් සමග සිරිකොත ඉදිරිපිට රැදී සිටි පිරිසක් කලබල කරන්නට වුණා. පළමුවෙන් ගේට්ටුවෙන් ඇතුළු වූයේ දස දෙනෙකු පමණ පිරිසක් වුවත් පසුව ගේට්ටුව ද වැට ද කඩා ඇතුළු වූ පිරිස ගල් මුල් ප‍්‍රහාර ද එල්ල කළා. කැරළි මර්ධන ඒකකය මෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ද එම ස්ථානයට පැමිණි අතර පිරිස විසුරුවා හැරීමට කි‍්‍රයා කරද්දී වාහනවලට, ගොඩනැගිල්ලට මෙන්ම බුදු පිළිමයට ද අලාභ සිදුවී තිබුණා. ඡන්දයෙන් පසු අදාළ පිරිස ඇමතීමට කරු ජයසූරිය, සජිත් පේ‍්‍රමදාස සහ දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරුන් කි‍්‍රයා කළා.

අපිව දිරිමත් කිරීමට මෙතැනට පැමිණියාට ස්තූතියි. දැන් සන්සුන්ව විසිරිලා යන්න.


පසුව එම පිරිස විසිරී ගියා. අගහරුවා දිනයේ සිරිකොතට හානි කිරීම පිළිබදව සැකකරුවන් 16 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඒ අතර ශිරාල් ලක්තිලක, මෛත‍්‍රී ගුණරත්න යන පළාත් සභා මන්ත‍්‍රීවරුන් ද වුණා.

අගහරුවාදා දිනයේම විපක්ෂ නායකවරයා මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. එහිදී ඔහු මෙවැන්නක් සඳහන් කළා.

සිරස මාධ්‍ය ආයතනයයි, මව්බිම පත්තරෙයි කරන කි‍්‍රයා කලාපය නිසා අපේ ජීවිතවලට සහ පක්ෂයට තර්ජනයක් වෙලා තියෙනවා.

පසුව ඔහු ගෙනැවිත් තිබූ ගලක් සිරස මාධ්‍ය ආයතනයෙන් පැමිණි මාධ්‍යවේදියාට ලබා දුන්නේ එය ගෙනැවිත් ගොස් අදාළ සමාගමේ ප‍්‍රධානියාට ලබාදෙන ලෙසයි. එම ගල සිරිකොතේ බුදුපිළිමයට පහර දුන් ගලක් බව ද විපක්ෂ නායකවරයා එහිදී කියා සිටියා.