පළමු තරගයෙන්ම ශතකයක් රැස් කළ මයිකල් ලම්බ් ක්‍රීඩාවට සමුදෙයි

Thursday, 20 July 2017 - 15:55

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B7%81%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවෙකු ලෙසට කටයුතු කළ මයිකල් ලම්බ් තරගවලින් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ ඔහුගේ වළලුකරේ ඇතිවී තිබෙන ආබාධ තත්වයක් හේතුවෙන්.

වෛද්‍ය උපදෙස් මත කණගාටුවෙන් වුව ද මෙම තීරණය ගැනීමට සිදුවන බව ඔහු ප්‍රකාශකර තිබෙනවා.

පළමු එක්දින ජාත්‍යන්තර තරගයේදීම ශතකයක් ලැබු ක්‍රීඩකයන් කිහිපදෙනා අතරින් අයෙක් ලෙසටයි මයිකල් ලම්බ් වාර්තා අතරට එක්ව තිබෙන්නේ.

ඒ 2014 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ඇන්ටිගුආහිදී පැවති තරගයකදීයි.

2010 වසරේ 20 යි 20 ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ සාමාජිකයකු ලෙසට ද මයිකල් ලම්බ් ක්‍රීඩා කළා.

ඔහුගේ ආරම්භක සහායක පිතිකරුවෙකු ලෙසට සිටි කේ‍්‍රග් කෙයිස්වෙටර් ද ආබාධ තත්වයක් හේතුවෙන් මේ වන විට ක්‍රීඩාවෙන් සමුගෙන තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ උපත ලැබු මයිකල් ලම්බ් සිය ක්‍රිකට් දිවිය ආරම්භ කළේ යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින්.

අනතුරුව ඔහු හැම්ප්ශයර් ප්‍රාන්ත කණ්ඩායම ද නියෝජනය කළා.

පසුව නොටින්හැම්ශයර් ප්‍රාන්තය ද නියෝජනය කළ මයිකල් ලම්බ්ට අනතුරුව එංගලන්ත ජාතික කණ්ඩායමේ සාමාජිකත්වය හිමිවුනා.

පළමු පෙළ ක්‍රිකට් තරග 210 කට ක්‍රීඩා කර ඇති ඔහු ලකුණු 11000 ක් රැස් කරගෙන තිබෙනවා.

ඔහුගේ හොඳම ලකුණු සංඛ්‍යාව ලෙසට වාර්තා අතරට එක්වී ඇත්තේ නොටින්හැම් ප්‍රාන්තය නියෝජනය කරමින් 2013 වසරේ ටෙ‍්‍රන්ට්බ්‍රිජ්හිදී ඩර්බ්ශයර් ප්‍රාන්තයට එරෙහිව ලකුණු 221 ක් රැස් කිරීමයි.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් මයිකල් ලම්බ් 20 යි 20 තරග 27 කට සහ එක්දින තරග 3 කට ක්‍රීඩා කර තිබෙනවා.

තම ක්‍රීඩා දිවියේදී වඩාත්ම සතුටුදායක ලෙසට කටයුතු කළේ නොටින්හැම්ශයර් ප්‍රාන්ත කණ්ඩායමේ ක්‍රීඩා කළ කාල වකවානුවේ බවයි මයිකල් ලම්බ් සිය සමුගැනීම පිළිබඳ නිවේදනය කරමින් කියාසිටියේ.

එමෙන්ම තම ක්‍රීඩා දිවියේදී සහය දැක්වු සැමට ද ඔහු ස්තුතිය පළකර තිබෙනවා.