%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
Wednesday, 06 December 2017 - 16:06
තුන්වන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්
16,724

Views
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වුනා.

ඒ අනුව තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ජය එකට බින්දුවක් ලෙසට ඉන්දියාවට හිමිවනවා.

මෙම තරගයේදී ශ්‍රී ලංකාවට දෙවන ඉනිමේදී ලකුණු 410 ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවු අතර දිනය අවසානයේ ශ්‍රී ලංකාවට කඩුලු 5 ක් දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 299 ක් පමණයි.

ඉන්දියාව සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 536 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා.

ශ්‍රී ලංකා පළමු ඉනිම සියලුදෙනා දැවී 373 යි.

ඉන්දියාව දෙවන ඉනිම ලකුණු 246 ක්ව තිබියදී අත්හිටවුවා.

ශ්‍රී ලංකා දෙවන ඉනිම ශක්තිමත් කිරීමට ධනංජය ද සිල්වා ඉහළ දායකත්යක් ලබාදුන්නා.

කෙසේවෙතත් ආබාධයක් ලක්වීම හේතුවෙන් ඔහුට පිටියෙන් ඉවත් වීමටයි සිදුවුනේ.

මෙම තරගයේදී ටෙස්ට් වරම් ලැබු රොෂේන් සිල්වා තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළා.

ඔහු කියාසිටියේ තරගය පුරා තමා දැඩි පීඩනයකින් පසුවු බවයි.

කෙසේවෙතත් එය නොපෙන්වා ක්‍රීඩා කර ලකුණු රැස් කිරීම අරමුණ වු බවයි රොෂේන් සිල්වා අවධාරණය කළේ.

පීඩනය හමුවේ නොසැලකිලිමත් වුයේ නම් මෙතරම් හෝ ලකුණු රැස් කිරීමට තමාට නොහැකි වන බව ද ඔහු සඳහන් කළා.

මංගල ටෙස්ට් තරගයේදීම මංගල ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් ඔහු තරගය අවසන් වන විට නොදැවී ලකුණු 74 ක් ලබා සිටියා.

මෙම තරගයේදී තමාගේ අවධානය යොමු වුයේ රවීන්ද්‍ර ජඩේජාගේ මෙන්ම රවිචන්ද්‍රන් අශ්වින්ගේ පන්දුවලට හොඳින් පහරදීම බවයි රොෂේන් සිල්වා කියාසිටියේ.

එමෙන්ම සාමාන්‍ය පරිදි ක්‍රීඩා කරමින් ලකුණු රැස් කර ගැනීමට අවධානය යොමු කරන ලෙසට තමා නිරෝෂන් දික්වැල්ල සහ ධනංජය ද සිල්වාට ද ප්‍රකාශ කළ බව ඔහු සඳහන් කළා.

කෙසේවෙතත් එය සිතු තරම් පහසු නොවු බව ඔහු පෙන්වා දුන්නා.

තම පිතිකරණ පුහුණුකරුවා ප්‍රකාශ කළ කරුණක් ද රොෂේන් සිල්වා මෙහිදී හෙළි කළා.

එනම් මෙහිදී ඔබට ලකුනු රැස් කිරීමට හැකියාවක් පවතී නම් ඔබට ලකුණු රැස් කළ හැකි බවට ලෝකයම දැනගන්නා බව පුහුණුකරු ප්‍රකාශ කළ බවයි රොෂේන් සිල්වා කියාසිටියේ.

මෙවර තමාට ලැබුනු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගත් අතර අනාගතයේදී තවත් දක්ෂතා දැක්වීමට තමාට හැකියාව ලැබෙනු ඇති බවයි ඔහු විශ්වාසය පළ කළේ.

මෙහිදී නායක දිනේෂ් චන්දිමාල් අදහස් දක්වමින් කියාසිටියේ මෙම ටෙසට් තරගාවලිය ඉතා හොඳ එකක් වු බවයි.

දෙවන ටෙස්ට් තරගයේදී කණ්ඩායමට පාඩම් රැසක් ඉගෙන ගැනීමට හැකි වු බව ද ඔහු සඳහන් කළා.

මෙම තරගාවලියේ දැක්වු දක්ෂතා පිළිබඳ ක්‍රීඩකයන්ට ස්තුතිවන්ත වන අතර කණ්ඩායම් පරිපාලනයට ද ස්තුතිය පළකරන බවයි චන්දිමාල් සඳහන් කළේ.

ධනංජය ද සිල්වාගේ සහ රොෂේන් සිල්වාගේ පිතිකරණය ද ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා අගය කළා.

ඔවුන්ගේ පිතිකරණය පිළිබඳ ඉතාමත් සතුටට පත්වන බවයි දිනේෂ් චන්දිමාල් කියාසිටියේ.

පළමු දින දෙකේදී වායු දුෂණය හේතුවෙන් අපහසුතාවන්ට පත්වුව ද අනතුරුව එය අමතක කර ක්‍රීඩාව කෙරෙහිම අවධානය යොමුවු බව ඔහු පෙන්වා දුන්නා.

තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා සම්මානය ද හිමිවුයේ ඉන්දීය නායක විරාත් කෝලිටයි.

තරගයෙන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත අදහස් පළ කළා.

ඔහු කියාසිටියේ මෙම තරගාවලිය පෞද්ගලිකව තමාට මෙන්ම කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ට ද හොඳ එකක් වු බවයි.

ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීම තුලින් ඕනෑම අභියෝගයක් ජයගැනීමට හැකි බව ද කෝලි පෙන්වා දෙනවා.

තමා කණ්ඩායමේ නායකත්වය නොදරන සමයේදී කණ්ඩායම තුල පවතින අසීරුතා මෙන්ම නායකයෙකු මුහුණදෙන අභියෝග තේරුම් නොගත් බවයි ඔහු කියාසිටියේ.

තමා ටෙස්ට් පිටියට පය තැබීමෙන් පසු පීඩනයකට ලක්වුව ද මේ වන විට වැදගත් සන්ධිස්ථානයකට පැමිණ සිටින බැවින් පහසුවක් දැනෙන බව ද විරාත් කෝලි ප්‍රකාශ කළා.

රෝහිත් ශර්මා සම්බන්ධයෙන් ද ඉන්දීය නායකයා මෙහිදී අදහස් පළ කළා.

ඔහු මැද පෙළ පිතිකරුවෙකු ලෙසට තරගයක් වෙනස් කිරීමට හැකියාව පවතින අයෙක් බවට විශ්වාස කරන බවයි කෝලි කියාසිටියේ.

ඔහු පිතිකරණයේ යෙදෙන ආකාරය පිළිබඳ ඉතා සතුටු වන අතර සෑම අයෙකුටම සෑම තරගාවලියකම ලකුණු අතරට පිවිසීමට නොහැකි බව ද කෝලි ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් හොඳින් ක්‍රීඩා කළ බව ද ඉන්දීය නායකයා සිහිපත් කරනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම එක් අරමුණක පිහිටා සිටීම සහ විශ්වාසය මෙම තරගාවලියේදී දැක ගැනීමට හැකිවු බවයි ඔහු පෙන්වා දුන්නේ.

අවසන් දිනය වන විට තණතිල්ල ක්‍රීඩා කිරීමට ඉතාමත් අසීරු තත්වයක පැවතිය ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් දවා ගැනීමට තම පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් බවයි විරාත් කෝලි කියාසිටියේ.

මෙම තරගාවලියේදී විරාත් කෝලි වාර්තාවක් පිහිටුවීමට ද සමත්වුනා.

ඒ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමක නායකත්වය දරමින් වැඩිම ද්විත්ව ශතක රැස් කළ නායකයා බවට පත්වෙමින්.

කෝලි මේවන විට ටෙස්ට් ද්විත්ව ශතක 6 ක් ලබාගෙන ඇත්තේ ජාත්‍යන්තර ටෙස්ට් තරග 63 කට සහභාගී වෙමින්.

මෙම තරගාවලියේදී විරාත් කෝලි වාර්තාවක් පිහිටුවීමට ද සමත්වුනා.

ඒ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමක නායකත්වය දරමින් වැඩිම ද්විත්ව ශතක රැස් කළ නායකයා බවට පත්වෙමින්.

කෝලි මේවන විට ටෙස්ට් ද්විත්ව ශතක 6 ක් ලබාගෙන ඇත්තේ ජාත්‍යන්තර ටෙස්ට් තරග 63 කට සහභාගී වෙමින්.

වසරක් තුල ජාත්‍යන්තර ලකුණු 2818 ක් ලබාගත් පළමු ක්‍රීඩකයා ලෙසට ද කෝලි ඉතිහාසයට එක්වනවා.

තරග 46 කදී ලබාගත් මෙම ලකුණු සංඛ්‍යාවට ශතක 11 ක් ද ඇතුලත්.

ඉන්දීය නායක විරාත් කෝලි එළඹෙන එක්දින සහ 20 යි 20 තරගාවලියෙන් විවේක ගන්වා තිබෙනවා.

ඒ අනුව රෝහිත් ශර්මා එම තරගාවලියේදී කණ්ඩායම මෙහෙයවනු ඇති.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE