%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%94%E0%B6%9B%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%E0%B7%80+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Thursday, 07 December 2017 - 12:00
ශ්‍රී ලංකාව මුඛවාඩම් බැඳ ක්‍රිකට් තරඟයට එක්වීම පිළිබඳව අලුත්ම කතාව මෙන්න
10,325

Views
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉන්දියාවේ දිල්ලියේ පැවති තුන්වන ටෙස්ට් තරඟය අතරතුර දුමාරය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අත්විඳීමට සිදුවූ අපහසුතාවය පිළිබඳව ICC ය වෙත මේ වනතෙක් කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත්ව නොමැති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී දිල්ලියේ කොට්ලා ක්‍රීඩාංගණයේදී ක්‍රිකට් තරඟ නොපවත්වන බවට ICC ය තීරණය කර ඇති බවට පලවන වාර්තා අසත්‍ය බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මේ අතර එහි වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මෙවැනි කාලගුණ අයහපත් ලෙස සහ වායු දූෂණය ඉහල මට්ටමක පවතින අවස්ථාවන් හිදී එම ක්‍රීඩාංගණ තුළ තරඟ සංවිධානය නොකිරීම පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුවනු ඇති.

ජාත්‍යන්තර ක්‍රීඩා බලධාරීන්ගේ මතය වී ඇත්තේ දිල්ලියේ මේ දිනවල පවතින අධික දුමාරය අති විශේෂ තත්ත්වයක් නොවන බවයි.

කෙසේ වෙතත් දිල්ලි හි නවතම සමීක්ෂණ වාර්තාවකින් හෙළිවන අමුතුම තොරතුරක් වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇත්තේ සුරංග ලක්මාල් වමනය කර අපහසුතාවයට පත්වීමට හේතුව ලෙස තරඟය තුළ අඩි 2700ක් ක්‍රීඩාංගනයේදී දිවගොස් ඇති බවයි.

ඒ අනුව ඔවුන් සුරංග විසින් සිදුකළ හුස්ම ගැනීම සමාන කර ඇත්තේ දුමවැටි 36 ක් එකදිගට පානය කිරීමෙන් පුද්ගලයෙකුට ඇතිවිය හැකි සංකුලතාවයක් ලෙසයි.

දිල්ලියේ වායු දූෂණය ක්‍රිකට් ක්‍රීඩාවට බලපා ඇති අන්දම පිළිබඳ ඉන්දීය මාධ්‍යවල විශේෂ අවධානයට ලක්ව තිබෙනවා.

මෙම තත්වය නිසා ඉතා දැඩි අපහසුතාවට පත් වුයේ ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයන් බව දැන් ලොවට ම නොරහසක්.

ඉන්දීය ක්‍රීඩකයන් හෝ බලධාරීන් කෙසේවෙතත් ඉන්දීය මාධ්‍ය ශ්‍රීලංකා ක්‍රීඩකයන් මුහුණ දී ඇති මෙම තත්වය ගැන සිය කනගාටුව පළකර තිබුනා.

ශීත කාලගුණයත් සමඟ දිල්ලියේ වායු දූෂණය අධික බව දැනසිටියා නම් මේ ටෙස්‌ට්‌ තරගය දිල්ලි අගනුවරට ගෙනාවේ කවුදැයි එන්. ඩී. ටී. වී. රූපවාහිනියේ මාධ්‍යවේදියෙකු එම රූපවාහිනියේ වැඩසටහනකදී ඉන්දීය ක්‍රිකට්‌ බලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටි බවද වාර්තා වුනා.

ඉන්දීය වෛද්‍යවරු ප්‍රකාශ කර ඇත්තේ දිල්ලිය ක්‍රිකට්‌ ක්‍රීඩා කිරීමට නුසුදුසු බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කර ඇති සෞඛ්‍යාරක්‍ෂිත වායු මට්‌ටමට වඩා දහඅට ගුණයක්‌ දූෂිත වායු මට්‌ටමක්‌ ෆෙරෝෂා කොට්‌ලා ක්‍රීඩාංගණයේ තිබෙන බවද ඔවුන් පවසා තිබෙනවා.

දිල්ලිය ලොව වායූ දුෂණය අතින් දෙවැනි වන්නේ චීනයේ බිජිං නුවරට පමණයි.

මෙතරම් වායූ දුෂණයක් පවතිද්දී දින 5ක් එක දිගට එළිමහනේ ක්‍රීඩා කිරීමට සිදුවීම ත්‍රස්ත තර්ජනයටත් එහාගිය තර්ජනයක් බව ඇතැමුන්ගේ අදහසයි.

ඇතැමුන් ප්‍රශ්න කරන්නේ දහස්‌ ගණනක සොල්දාදුවන් යොදා ආරක්‍ෂාව තරකර දිල්ලියේ ෆෙරෝෂා කොට්‌ලා ක්‍රීඩාංගණයේ ටෙස්‌ට්‌ තරගයක්‌ පැවැත්වීමට හැකි වුවද මේ වායු දූෂණය නිසා ඇතිවන පීඩාව මගහරින්නේ කෙසේද යන්නයි.

ඉන්දියාවෙන් ක්‍රීඩාවට එල්ල වී ඇති මෙම තර්ජනය ගැන හිටපු ක්‍රීඩකයන් පවා අදහස් දක්වා තිබෙනවා.

"අපේ නායකයන් චිත්‍රපටයක්‌ ගැන වාද කරනවා මිස මේ වායු දූෂණය වැනි ප්‍රශ්න ගැන අවධානය යොමු කරන්නේ නැහැ"

ඉන්දීය ක්‍රිකට්‌ ක්‍රීඩක ගෞතම් ගාම්භීර් සිය ට්‌විටර් ගිණුම හරහා ප්‍රකාශ කර තිබුනා.

හිටපු පකිස්‌තාන ක්‍රිකට්‌ නායක ඉම්රාන් ඛාන් සිය ට්‌විටර් ගිණුම හරහා ප්‍රකාශ කර තිබුනේ මේ තත්ත්වය ගැන පාකිස්‌තාන බලධාරීන් ද අවධානය යොමුකළ යුතු බවයි.

පකිස්‌තානයේ නගර බොහොමයක ද වායු දූෂණය උග්‍රව ඇති නිසා ඔහු එවැන්නක් ප්‍රකාශ කරන්නට ඇති බව සිතිය හැකියි.

කෙසේවෙතත් වායු දූෂණය ප්‍රබල වුවද ඉන්දීය ක්‍රිකට්‌ කණ්‌ඩායම මුව ආවරණ පැළඳීම ප්‍රතික්‍ෂේප කර තිබුනා.

ඒ, රටේ ගෞරවය රැකගැනීමටදැයි අප දන්නේ නැහැ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE