2ට 4 කියන, නැති වාර්තා - වාර්තා බව කියන; ක්‍රිකට් සභාපතිගේ ඉස්පිලි පාපිලි

Monday, 11 December 2017 - 9:07

2%E0%B6%A7+4+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%2C+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+-+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%3B+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%89%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92
ඉන්දියාව සමඟ තරඟ තුනකින් සමන්විත වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ ඇතුළත් වූ සාවද්‍ය කරුණු සම්බන්ධයෙන් හිරු රෙඩ් කාඩ් පසුගිය 08 වැනිදා අනාවරණ කළා.

අප එහිදී පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය ඒකකය නිකුත් කර තිබූ සිංහල සහ ඉංග්‍රිසි මාධ්‍ය නිවේදනයන් දෙකෙහි එකිනෙකට පරස්පර වූ කරුණු ඇතුළත් කොට තිබූ බවයි.

විශේෂයෙන්ම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් වර්ගීකරණයේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව තිබෙන ස්ථානය සම්බන්ධයෙන් ඔවුන් දක්වා තිබූ කරුණු සාවද්‍ය බව අප උදාහරණ සහිතව පෙන්වා දුන්නා.

ඊට අමතරව සුරංග ලක්මාල් සම්බන්ධයෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් මාධ්‍ය ඒකකය දක්වා තිබූ කරුණු බොහොමයක් ද නිවැරදි වුණේ නැහැ.

මෙවැනි මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් පසුගියදා (09) පාර්ලිමේන්තුවේ පැවැති අය වැය ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.

ප්‍රශ්නය - මාධ්‍ය නිවේදනයක් පවා නිකුත් වුණා නේද වැරදි තොරතුරු සඳහන් කරලා?

තිලංග සුමතිපාල - සභාපති ශ්‍රී ලංකා ක්‍රිකට්

\"ඒ... හිරුගෙ මතයනේ. නෑ.. මාධ්‍ය නි... ද... ආ.. තිය.. තොරතුරු හරි නේද.. ඒක වරදක් නැහැ. අපි ලෝක ටෙස්ට් කණ්ඩායම්වල 6 තත්ත්වයේ ඉන්නේ. තව ලකුණු දෙකයි අඩු අපිට 04 වැනියා වෙන්න පුළුවන්. දැන් මොකක්ද මේ වෙලා තියෙන්නේ. අපි සංතෝස නැද්ද අපේ ක්‍රීඩකයින් ශක්තිමත් කියන්න. වාර්තාවක් තිබ්බාම ඒ ගැන ප්‍රකාශයට පත් කරහම ඒක නෙමෙයි ප්‍රශ්නය, නිවේදනයේ ස්පිල්ලක් ඇදයි පාපිල්ලක් ඇදයි. ලිපියේ වරදක් මා දකින්නේ නැහැ.මං දැක්කා හිරු නාලිකාවේ ඒක ලොකු විවේචනයක් කරලා තියෙනවා. ජාතික ප්‍රශ්නයක් නම් හිරුට අපේ නිවේදනය ඒක පස්සේ එල්ලීගෙන යන්න. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ.\"

ක්‍රිකට් සභාපතිවරයාගේ දැනුමට අනුව තවත් ප්‍රසාද ලකුණු දෙකක් ලබාගත් පසු ශ්‍රී ලංකාව ජගත් ටෙස්ට් වර්ගීකරණයේ 06 වන ස්ථානයේ සිට සිව්වන ස්ථානය දක්වා ඉහළට පැමිණෙනවා.

නමුත්, ජගත් ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවියට අනුව එය එසේ සිදුවන්නේ නැහැ.

මේ වනවිට ප්‍රසාද ලකුණු 94 කට හිමිකම් කියන ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමට සිව්වන ස්ථානයේ පසුවන නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව පරයා යන්නට නම් තවත් ප්‍රසාද ලකුණු 04 ක් ලබාගත යුතු වනවා.

ක්‍රිකට් සභාපතිවරයා පවසන පරිදි මෙය ඉස්පිල්ලක හෝ පාපිල්ලක වරදක්ද...?

එමෙන්ම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයට අනුව සුරංග ලක්මාල් කඩුලු ත්‍රිත්වයක් ලබාගත් බව පැවසුවත් අප රෙඩ් කාඩ් හරහා පෙන්වා දුන්නේ සුරංග එවන් දස්කමක් මෙතෙක් සිදුකර නොමැති බවයි.

පසුගිය නොවැම්බර් 17 වැනිදා පැවැති ඉන්දියාව සමග පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනයේදී සුරංග ලක්මාල් වාර්තා පොත් අතරට එක් වුණේ 2001 වසරෙන් පසු ආරම්භක පන්දු යවන්නෙක් පළමු ලකුණ ලබාදීමට පෙර වැඩිම නිලකුණු පන්දු සංඛ්‍යාවක් යැවූ පන්දු යවන්නා ලෙසයි.

පසුගිය 8 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සුරංග ලක්මාල් අගයන්නට පෙර හිරු ප්‍රවෘත්ති සුරංගගේ මෙම දස්කම ලොවටම ප්‍රකාශ කළේ ඔහු එම දස්කම සිදුකළ දිනදීමයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ මාධ්‍ය නිවේදනය හරහා රෙඩ් කාඩ් ප්‍රශ්න කර සිටියේ ලක්ෂ ගණනින් වැටුප් ලබන ශ්‍රි ලංකා ක්‍රිකට් මාධ්‍ය ඒකකයේ සමහරක් නිලධාරීන්ගේ අඳ බාල ක්‍රියා පිළිවෙත මිස සභාපතිවරයා පවසන පරිදි මාධ්‍ය නිවේදනයේ ඉස්පිලි පාපිලි පිළිබද නොවෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් වැනි වගකිව යුතු ආයතනයක බලධාරීන්ගේ අඳ බාල ක්‍රියාවන් ගැන දැනුවත් කිරීමට රටේ ජනතාවට වගකියන මාධ්‍ය ආයතනයක් ලෙස හිරු කටයුතු කිරීමේදී ක්‍රිකට් සභාපතිවරයාගේ රුචි අරුචිකම් කිසිවක් අපට අදාළ නොවෙයි.