%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD
Saturday, 17 March 2018 - 21:09
ශ්‍රී ලංකාව සමග පැවති තරගයේ සිදුවීම ගැන බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ කනස්සල්ල
22,372

Views
නිවේදනයක් නිකුත් කරමින් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ සිද්ධිය සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල ප්‍රකාශ කරනවා.

ඔවුන් අවධාරණය කරන්නේ එම අවස්ථාවේදී බංග්ලාදේශ ක්‍රීඩකයින්, සිදුවීමට වෘත්තිය මට්ටමෙන් අවතීර්ණ නොවූ බවත් ඒ හරහා ශ්‍රී ලංකා - බංග්ලාදේශ දිගුකාලීන ක්‍රිකට් සබඳතාවට හානි සිදු නොවිය යුතු බවයි.

සිය කණ්ඩායමේ නායකයා ක්‍රීඩාවේ ජීවගුණය රැකගැනීම සම්බන්ධයෙන් මීට වඩා සැලකිලිමත්විය යුතුව තිබූ බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ක්‍රීඩකයින් දෙදෙනාට පැනවූ දඩුවම පැකිලීමකින් තොරව අනුමත කරන බවයි.

නිදහස් කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය සඳහා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය ඊයේ කොලඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයට පිවිසුණේ අවසන් මහා තරගයේ ස්ථානයක් වෙන් කර ගැනීමේ අරමුණ ඇතිවයි.

වරෙක ලකුණු 41 කට කඩුලු 5ක් දැවී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 159 ක් දක්වා ඔසවා තබන්නට තිසර සහ කුසල් ජනිත් සමත් වුණා.

ජයග්‍රහණය වෙත ස්ථාවර ගමනක යෙදී සිටි බංග්ලාදේශ කණ්ඩායමේ මැද පෙළ බිඳ දමමින් ශ්‍රී ලංකාව යලිත් තරගයට අවතීර්ණ වීමත් සමග ඔවුන්ට අවසන් පන්දු වාරයේදී ලකුණු 12ක ඉලක්කයක් හිමි වුණේ කඩුලු 3ක් පමණක් අතැතිවයි.

ඉසුරු උදාන එම පන්දු වාරයේ පළමු පන්දු දෙකම කෙටි පන්දු ලෙස යොමු කළ අතර එහිදී එකදු ලකුණක් හෝ ලබා ගන්නට බංග්ලාදේශයට හැකි වුනේ නැහැ.

එහිදී බංග්ලාදේශ ක්‍රීඩකයන් දෙවන පන්දුව නිපන්දුවක් ලෙස සංඥා කල යුතු බවට තර්ක කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

එම උණුසුම අතරතුර පිටිය මැදට පැමිණි බංග්ලාදේශ අතිරේක ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා නායක තිසර පෙරේරාට තර්ජනය කරන අයුරු එහි සිටි කැමරා ශිල්පීන් සටහන් කරගෙන තිබුනා.

මේ අතරතුර බංග්ලාදේශ නායක ෂකීබ් අල් හසන් පිතිකරුවන්ට නැවත ක්‍රීඩාගාරයට පැමිණෙන ලෙසද සංඥා කළා.

ඔවුන් පිටියෙන් ඉවතට පැමිණීමක් සිදු වුනි නම් තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමේ හැකියාවක් ද පැවති නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ද මැදිහත් වීම මත ඔවුන් පිටියේ රැඳී සිටියා.

බංග්ලාදේශ ක්‍රීඩකයන් සන්සුන් කිරීමෙන් අනතුරුව නැවත තරගය ආරම්භ වූ අතර මහමදුල්ලා සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියේ පන්දු තුනක දී අවශ්‍යව තිබු ලකුණු 12 වාර්තා කරමින්.

මේ අතර තිසර සමග ගැටුමක් ඇති කර ගැනීමට උත්සාහ දැරූ අතිරේක ක්‍රීඩකයාම කුසල් මෙන්ඩිස් හට ද පැවසූ යමක් හේතුවෙන් යලිත් ගැටුමක් ඇති වන බවක් දක්නට ලැබුණත් බංග්ලාදේශ ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන්ගේ මැදිහත්වීමෙන් එය පාලනය කෙරුණා.

මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කළේ තිසරට තර්ජනය කළ අතිරේක ක්‍රීඩක නුරුල් හසන් ට සහ කණ්ඩායම පිටියෙන් ඉවතට කැඳවූ ෂකීබ් අල් හසන් ට තරග මුදලින් 25‍% දඩයක් සහ එක දඬුවම් ලකුණ බැගින් පනවන බවයි.

මේ අතර බංග්ලාදේශ කණ්ඩායමේ ජය සැමරුම් අතරතුර ක්‍රීඩක විවේකාගාරයේ වීදුරු දොරටුවක් කැඩී ගොස් ඇති ආකාරයද කැමරා කාච වල සටහන්ව තිබුණා.

බංග්ලාදේශ ක්‍රීඩකයන් අතින් එම දොරටුව බිඳී ගිය බව ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරීන්ද පවසන බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විනය පියවරක් ගෙන ඇති බවට වාර්තා වන්නේ නැහැ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පසුගිය තරග කිහිපයකදී වාර්තාවූ උණුසුම් සිදුවීම් පිලිබඳ බංග්ලාදේශ නායක ෂකීබ් අල් හසන් අදහස් පලකළා.

rnrnrnrnrn
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE