%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%BD%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Saturday, 06 July 2019 - 22:49
ඉන්දියාව ලසිත් මාලිංගගේ ලෝක කුසලාන සමුගැනීමේ සාදය කඩාකප්පල් කරයි
57

Shares
6,893

Views
ලසිත් මාලිංගගේ ලෝක කුසලාන සමුගැනීමේ සාදය කඩාකප්පල් කරන්නට ඉන්දීය කණ්ඩායම අද සමත් වුණා.

ඒ, මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් තරගය කඩුලු 7 ජය ගනිමින්.

මෙම තරගය පැවැත්වුණේ එංගලන්තයේ ලීඩ්ස් හි හෙඩිංලි ක්‍රීඩාංගණයේදී.

පිතිකරුවන්ට යෝග්‍ය තනතිරුවේ කාසියේ වාසිය දිනා ගත් දිමුත් කරුණාරත්න දෙවරක් නොසිතාම පන්දුවට පහරදෙන්නට තීරණය කළා.

දිමුත් සහ කුසල් ජනිත් සාර්ථක ආරම්භයක් ලබාගත්තත් ඔවුන් දෙදෙනාටම පිටියේ ස්ථාවර වන්නට ජස්ප්‍රිත් බුම්රාහ්
ඉඩ ලබාදුන්නේ නැහැ.

මුළු ලකුණු සංඛ්‍යාව 40ක් වෙද්දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ක්‍රීඩාගාරයේ අසුන්ගෙන සිටියා.
 
ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට පිං සිදු වන්නට දැන් කලක පටන් කටින් පමණක් ක්‍රිකට් ගසන කුසල් මෙන්ඩිස් මෙම තරගයේදී පන්දු 13කට මුහුණදීමෙන් අනතුරුව ලකුණු 3කට දැවී ගියා.

කුසලතාවයෙන් පරිපුර්ණ කුසල් මෙන්ඩිස් වැනි ක්‍රීඩකයෙකුගේ එම හැකියාවන් තවදුරටත් මිය යන්නට ඉඩ නොදී
ඔහු වෙනුවෙන් සාධනීය තීරණයක් ගැනීමට ඉදිරියේදී හෝ මෙරට ක්‍රිකට් බලධාරීන් කටයුතු කරනු ඇති බවයි අපගේ
විශ්වාසය.

ලකුණු 55කට කඩුලු 4ක් බිඳ වැටී තිබූ මොහොතක ශ්‍රී ලංකා ඉනිමට ජීවයක් එක්කළේ මැතිව්ස් සහ තිරිමාන්න පස්වන කඩුල්ලට ගොඩනැගූ ලකුණු 124ක සබදතාවයි.

තිරිමාන්න සිය 21ක්වන අර්ධ ශතකය රැස්කිරීමෙන් අනතුරුව ලකුණු 53කට දැවී ගියා.

ඇන්ජලෝ මැතිව්ස් අද සිය 3 වන එක්දින ශතකය වාර්තා කළ අතර ඔහු එම ශතක තුනම රැස් කර තිබෙන්නේ ඉන්දියාවට එරෙහිව වාර්තා වීම විශේෂත්වයක්.

මැතිව්ස්ගේ ලකුණු 113ට හතරේ පහර 10 ක් සහ හයේ පහර 2 ක් ඇතුලත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 264 ක්.

ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 29 යි.

ජස්ප්‍රිත් බුම්රා කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 265 ක් ලබාගෙන තරගය ජය ගැනීම සඳහා වැය කළේ පන්දුවාර 43යි පන්දු 3ක් පමණයි.

රෝහිත් ෂර්මා ලකුණු 103 ක් රැස් කළා.

මෙය රෝහිත් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී වාර්තා කළ 5 වන ශතකයයි.

මේ අනුව ඔහු 2015 ලෝක කුසලාන තරගාවලියේදී ශතක 4 ක් ලබාගනිමින් කුමාර සංගක්කාර පිහිටුවා තිබූ ලෝක කුසලාන තරගාවලියක එක් ක්‍රීඩකයෙක් රැස් කළ වැඩිම ශතක සංඛ්‍යාවේ වාර්තාව අබිබවා යන්නට සමත් වුණා.

ලසිත් මාලිංගගේ පන්දුවක් හමුවේ දැවී යන විට ලෝකෙෂ් රාහුල් ලකුණු 111ක් ලබා සිටියා.

ඒ අනුව ලෝක කුසලාන තරග ඉතිහාසයේ තෙවන වැඩිම කඩුළුලාභියා බවට පත්වෙමින් මාලිංග සිය ලෝක කුසලාන තරගාවලි 4 ක අමරණීය මතකයන්ට සමුදුන්නා.

rnrn
rnrn

rnrnrnrn
rnrnrnrnrn



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE