ඉන්දියාවට ලකුණු 69 ක ජයක්

Saturday, 13 February 2016 - 7:04

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+69+%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි දෙවන 20 යි 20 තරගයෙන් ලකුණු 69 ක ජයක් ලබාගැනීමට ඉන්දියාව සමත්වුනා.

ඊයේ රන්චිහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ඉන්දීය පිළට ආරාධනා කළා.

වේග පන්දු යවන්නන්ට කිසිදු සහයක් ලබා නොදුන් තණතිල්ලෙන් ඉන්දීය පිතිකරුවන් දස්කම් දැක්වීමට සමත් වූ අතර, සිය පන්දු වාර 20 අවසානයේ කඩුලූ 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 196ක්. 

ශිකර් ධවාන් ලකුණු 51ක් රැස් කළ අතර රෝහිත් ශර්මා ලකුණු 43ක් ලබා ගත්තා.

තිසර පෙරේරා කඩුලූ ත්‍රිත්වයක් ලෙස ඉන්දීය කඩුලූ 3ක් බිද හෙලූවේ ලකුණු 33ක් ලබාදෙමින්.

එය ශ්‍රී ලංකාව විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයකදී වාර්තා කළ පළමු කඩුලූ ත්‍රිත්වය මෙන්ම සියලූම විස්සයි විස්ස තරගාවලි හිදී වාර්තා වූ හතර වැන්නයි.

තිසර පෙරේරාගේ පන්දු යැවීම හමුවේ පිටියෙන් ඉවත්වු පිතිකරුවන් වුයේ හාඩික් පන්ද්යා සුරේෂ් රයිනා සහ යුවරාජ් සිං යන තිදෙනායි.

ලකුණු 197ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන්ට වැඩි දස්කම් දැක්වීමට හැකි වූයේ නැහැ.

ප්‍රවීන පිතිකරු තිලකරත්න ඩිල්ශාන් ද රවිචන්ද්‍රන් අශ්වින්ගේ දඟ පන්දුවකට ලකුණු නොලබා දැවී ගිය අතර, ශ්‍රී ලංකා පිළේ කඩුලූ 3ක් දැවී යන විට වාර්තා වී තිබුණේ ලකුණු 16ක් පමණයි.

දිනේෂ් චන්දිමාල් ලකුණු 31ක් ද, චාමර කපුගෙදර ලකුණු 32ක් රැස් කළා.

දසුන් ශානක ලකුණු 27ක් ලබා ගත්තේ හයේ පහර 3ක් ද සමගින්.

කෙසේ නමුත් පන්දු වාර 20 අවසානයේ ශ්‍රී ලංකා පිළ කඩුලූ 9ක් දැවී ලබා සිටියේ ලකුණු 127ක් පමණයි.

රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 14කට කඩුලූ 3යි. අශීෂ් නේරා ලකුණු 26කට කඩුලූ 2යි.  

මේ අනුව ඉන්දීය පිළට දෙවන විස්සයි විස්ස තරඟයෙන් ලකුණු 69ක ජයක් අත්වන අතර, තරගාවලිය ජයග්‍රහණ එකට එකක් ලෙස සම වනවා.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර තුන්වන 20 යි 20 තරගය හෙට විශාඛාපට්නම්හිදී පැවැත්වීමට නියමිතයි.