ශ්‍රී ලංකා - පකිස්ථාන 150 වන එක්දින තරඟය අද

Monday, 16 October 2017 - 8:14

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+150+%E0%B7%80%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර දෙවන එක්දින තරඟය අද අබුඩාබි නුවර ෂේක් සයිඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරඟ 05කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟය පහසුවෙන් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

අද පැවැත්වෙන තරඟය ශ්‍රී ලංකා - පාකිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ 150 වන එක්දින තරඟය වීම ද විශේෂත්වයක්.

මේ අතර මෙම වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර එක්දින තරඟ 22 කට සහභාගී වී ඇති ඉන් ජයගැනීමට හැකිව ඇත්තේ තරඟ 04 වන අතර පරාජය වූ තරඟ සංඛ්‍යාව 17ක්.

මෙය එක්දින වරම් හිමිකරගෙන ඇති කණ්ඩායම් අතරින් මෙම වසර තුලදී කණ්ඩායමක් ලද වැඩිම පරාජයන් සංඛ්‍යාව ලෙසට වාර්තා පොත් අතරට එක් වනවා.

2009 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරඟ 21කට සහභාගී වෙමින් ජයග්‍රහණයන් 04කට පමණක් හිමිකම් කියමින් එම සටහනේ කොදෙව්වන් ලබා සිටි ස්ථානය පසුකර යාමට ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම් මෙම වසර තුලදී මේ වන විට සහභාගී වී ඇති තරඟ 21න් තරඟ 12ක දී පළමුව පන්දුවට පහරදී ඇති අතර එහිදී ජයග්‍රහණය කිරීමට හැකිව ඇත්තේ තරඟ 01ක්.

මෙම වසරේදී තරඟ 10කදී ශ්‍රී ලංකා කණ්ඩායම දෙවනුව පන්දුවට පහර දෙමින් ජයග්‍රහණය කර ඇති තරඟ සංඛ්‍යාව 03ක් බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

ජාත්‍යන්තර එක්දින තරඟ ඉතිහාසය තුල 1994 වසරේදී එක්දින තරඟ 27කට සහභාගී වී තරඟ 06ක් පමණක් ජයගෙන තරඟ 18ක් පරාජය වෙමින් නවසීලන්ත කණ්ඩායම මෙම සටහනේ පෙරමුණ ගෙන සිටිනවා.

මේ අතර පාකිස්ථානයේ ලාහෝර් නුවර පැවැත්වීමට තීරණය කර ඇති  තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගයට ශ්‍රී ලංකා පිල සහභාගිවන්නේ ද නැද්ද යන්න පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීරණය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

අදාළ තරගය සඳහා ලාහෝර් නුවරට යෑමට අකමැත්ත පළ කරමින් ක්‍රීඩකයින් සිය අත්සන් සහිතව ක්‍රිකට් ආයතනය වෙත ලිපියක්ද පසුගියදා භාරදී තිබුණා.

ඒ, 2009 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ලාහෝර් නුවරදී එල්ලවූ ප්‍රහාරයත් සමග ඇතිවූ තත්වයන් මතයි.

මේ අතර අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩි වෙනසක් බලාපොරොත්තු විය නොහැකි වුවත් චාමර කපුගෙදර කණ්ඩායමට කැඳවීමේ ඉඩ කඩක් පවතින බවත් අබුඩාබි නුවරින් වාර්තා වනවා.

එක්දින තරග 08ක් පුරා නොකඩවා අත්විඳි පරාජයේ වේදනාව අවසන් කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා කණ්ඩායම අද මෙරට වේලාවෙන් සවස 4.30ට ෂේක් සයීඩ් ක්‍රීඩාංගනයට පිවිසෙනු ඇති.