ගාලූ ක්‍රීඩාංගනයේ තරග පාවාදීම් කරළියට - අයි.සී.සී පරීක්ෂණත් ඇරඹේ

Saturday, 26 May 2018 - 18:51

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%96+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C+%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+-+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B7%83%E0%B7%93.%E0%B7%83%E0%B7%93+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
මේ වසර අවසානයේ යෙදී තිබෙන එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් තරගය මුදලට පාවාදීමේ සැලැස්මක් හෙළි කර ගැනීමට අල් - ජසීරා පුවත් සේවයේ මාධ්‍යවේදියෙකු සමත්වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඔවුන් සකස් කළ විශේෂ වැඩසටහනක් හෙට විකාශය කරන බවයි අල් - ජසීරා වෙබ් අඩවිය ප්‍රකාශ කළේ.

එහි සදහන් වන පරිදි වෙස් වලා ගත් මාධ්‍යවේදියා ඉන්දීය බුකී කරුවෙකු සමග පැමිණ ගාල්ලේ ප්‍රමුඛ පෙලේ හෝටලයකදී මෙම මතභේදාත්මක රූගත කිරීම් සිදුකර තිබෙනවා.

ඔවුන් සමග තරග පාවාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත්තේ හිටපු පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන තරිදු මෙන්ඩිස් සහ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සහය කළමනාකරු මෙන්ම තණතීරු සකසන්නා ලෙස කටයුතු කරන තරංග ඉන්දිකයි.

බුකීකරුවන්ට අවශ්‍ය පරිදි ගාලූ තණතීරුව සකස් කළ හැකි බව ඔවුන් පැවසුවේයැයි අල් ජසීරා වෙබ් අඩවිය වාර්තා කළා.

2016 වසරේ  ඕස්ට්‍රේලියාව සමග පැවති තරගයේදී ගාලූ තණතීරුව දග පන්දු යවන්නන්ට උචිත ලෙස සැකසූ බවයි ගාල්ල ක්‍රීඩාංගනයේ සහය කළමනාකරු තරංග ඉන්දික මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.

ඕස්ට්‍රේලියාව එම තරගය ලකුණු 229 කින් පරාජයට පත්වූ අතර, ශ්‍රී ලංකා දග පන්දු යවන්නන් 3 දෙනා එහිදී කඩුලූ 18 ක් ලබා ගත්තා.

එමෙන්ම, පසුගිය වසරේ ඉන්දියාව සමග පැවති ටෙස්ට් තරගයේදී ද බුකීකරුවන්ගේ අවශ්‍යතාව අනුව පිතිකරුවන්ට වාසි සහගත ලෙස ගාලූ තණතීරුව සකසා ඇති බවයි අල් ජසීරා වෙබ් අඩවිය සදහන් කරන්නේ.

ශ්‍රී ලංකාව එම තරගය ලකුණු 304 කින් පරාජයට පත්වුණේ ඉන්දියාව පළමු ඉනිමේදී ලකුණු 600 ක් රැස් කරද්දීයි.

මේ වසර අගදී ගාල්ලේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය පිළිබදව අල් - ජසීරා මාධ්‍යවේදියා, බුකීකරුවා සහ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සහය කළමනාකරු තරංග ඉන්දික සමග සාකච්ඡා කර ඇති අතර එහිදී දවස් දෙකහමාරක් තුළ තරගය අවසන් වන අයුරින් තමන්ට තණ තීරුව සකස් කර දිය හැකි බව තරංග ඉන්දික සදහන් කළේ යැයි අල් - ජසීරා වෙබ් අඩවිය වාර්තා කළා.  

මෙරට වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයින් කිසිවෙකුත් මෙම මුදලට තරඟ පාවාදීමේ සිද්ධියට සම්බන්ධ නොමැති බව අල් ජසීරා පුවත් සේවය ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත්, පළමු පෙළ තරඟවලට පමණක් ක්‍රීඩා කර තිබෙන තරිදු මෙන්ඩිස් සහ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ සහය කළමනාකරු තරංග ඉන්දික වසර ගණනාවක සිට මෙම නීතිවිරෝධී කටයුත්තේ නිරතව ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

අයි.සී.සී. දූෂණ මර්දන ඒකකය ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් සදහන් කළා.