මාලිංග ලෝක කුසලානයට සූදානම්

Sunday, 14 October 2018 - 12:53

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීම තම අපේක්ෂාව බව ශ්‍රී ලංකා පිලේ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.

එසේ වුවහොත් එය තමාගේ අවසන් ලෝක කුසලානය වනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

වසර එකහමාරක් ජාතික කණ්ඩායමට ඇතුළත් නොවූ මාලිංග යළි පිටියට පිවිසීමෙන් පසු ජාත්‍යන්තර තරග හතරකදී කඩුලූ 10 ක් බිඳ හෙළීමට සමත්වුණා.

එංගලන්තය සමඟ දඹුල්ලේ ඊයේ පැවති දෙවන එක්දින තරගයේදී ඔහු කඩුලූ 5 ක් බිඳ හෙලූයේ සිය ජාත්‍යන්තර කඩුලූ සංඛ්‍යාව 500 දක්වා ඉහළ නංවමින්.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාලිංග කියා සිටියේ අවස්ථාවක් ලැබුණහොත් තමා මීළඟ ලෝක කුසළාන තරගාවලියට සහභාගිවීමට අපේක්ෂාවෙන් සිටින බවයි.

එය තීරණය කළ යුත්තේ තේරීම් කමිටුව විසින් බව පැවසූ මාලිංග තමා ඒ සඳහා සුදුසුකම් පෙන්වා ඇති බවට කරුණු දැක්වූවා.

කෙසේ නමුත් පසුගිය කාලය තුළ අත්දැකීම් අනුව කිසිවක් බලාපොරොත්තු විය නොහැකි බවයි ඔහු කියා සිටියේ. එහෙත් අවස්ථාව ලැබුණහොත් උපරිම දස්කම් දක්වන බවට ලසිත් මාලිංග සහතික වුණා.

තම ක්‍රීඩා දිවියේ අවසන් අදියරට පැමිණ ඇති අවස්ථාවේ වැඩි වශයෙන් කඩුලූ ලබාගැනීමට දිරියක් පවතින බව ඔහු කියා සිටියා.