කෝලි, ධෝනි ප්‍රමුඛ ඉන්දියාව ලෝක කුසලානයෙන් ඉවතට - නවසීලන්තය අවසන් මහා තරඟයට

Wednesday, 10 July 2019 - 19:25

%E0%B6%9A%E0%B7%9D%E0%B6%BD%E0%B7%92%2C+%E0%B6%B0%E0%B7%9D%E0%B6%B1%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%9B+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7+-+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%A7
නොකඩවා දෙවන වරටත් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නට නවසීලන්තය අද සමත් වුණා.

ඒ අතිරේක දිනය තෙක් දික් ගැස්සුණු පළමු අවසන් පූර්ව තරගයේ දී ඉන්දීය කණ්ඩායම ලකුණු 18කින් පරාජය කරමින්.

ලෝක කුසලාන පළමු අවසන් පූර්ව තරගය ඊයේ ආරම්භ වුණේ මැන්චෙස්ටර් හීදී.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 211 ක් ලබා සිටියදී ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් ඊයේ දිනයට තරගය අත්හැර දමන්නට විනිසුරුවන්ට සිදුවුණා.

අතිරේක දිනය වූ අද තරගය නැවත ආරම්භ වීමෙන් පසු නවසීලන්ත ඉනිමේ ඉතිරි පන්දු 23 ක්‍රියාත්මක වූ අතර එහිදී ඔවුන් කඩුලු 3 ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 28 ක්.

මේ අනුව ඔවුන්ගේ ලකුණු පුවරුව කඩුලු 8කට ලකුණු 239 ක් ලෙස සටහන් වුණා.

මෙවර තරගාවලිය පුරා ලකුණු අතර සිටි ඉන්දීය මුල්පෙළ පිතිකරුවන් තිදෙනාම ලකුණු 5 ක් තුළ දැවී ගියේ නවසීලන්ත වේග පන්දු බල ඇණියේ ගොදුරු බවට පත් වෙමින්.

පළමු පන්දුවාර 10 අවසන් වෙද්දී ඔවුන්ගේ කඩුලු 4ක් ලකුණු 24කට දැවී ගොස් තිබුණා.

හාර්දික් පාණ්ඩ්‍ය සහ රිෂබ් පාන්ට් ඉනිම ගොඩනැගීමට දැඩි උත්සාහයක නිරත වුණේ ලකුණු 32 බැගින් රැස්කරමින්.

ඔවුන් දෙදෙනාම මිචෙල් සැන්ට්නර් ගේ දඟ පන්දු හමුවේ දැවී ගියා.

විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ රවීන්ද්‍ර ජඩේජා තරගයේ පීඩනය නැවත නවසීලන්ත කණ්ඩායම වෙත යොමු කරන්නට සමත් වුණේ මහේන්ද්‍ර සිං දෝණි සමග එක්ව ශතක සබඳතාවක් ගොඩනගමින්.

කෙසේ වෙතත්, ජඩේජා ලකුණු 77කට දැවී යෑමත් සමග නවසීලන්තය නැවතත් තරගයට අවතිර්ණ වුණා.

ලකුණු 50 ක් ලබා සිටි මහේන්ද්‍ර සිං දෝණි සිය අවසන් ලෝක කුසලාන ඉනිමට නැවතීමේ තිත තැබුවේ දුවද්දී දැවී යෑමකට හසුවෙමින්.

ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ  ලකුණු 221ක් පමණයි.

මේ අනුව එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර හෙට පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයේ දී ජයග්‍රාහකයින් සමගින් නවසීලන්තය අවසන් මහා තරගයේදී තරග වදිනු ඇති.