ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ක්‍රිකට් ආයතනයට දැනුම්දීමක්

Wednesday, 17 July 2019 - 20:11

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
එළඹෙන බංග්ලාදේශ තරගාවලියෙන් පසු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සියලු පුහුණුකරුවන්ට තනතුරු වලින් ඉවත් වන ලෙස දැනුම් දෙන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නියෝග කර තිබෙනවා.

නමුත් අද වන විට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙලාගෙන ඇති මාෆියාව පරාජය කරන්නට අමාත්‍යවරයාට ඇති බලතල ප්‍රමාණවත් ද ?

අද රෙඩ් කාඩ් අනාවරණය ඒ පිළිබඳවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩා වැටීම නවතන්නට එන ගැලවුම්කරු ලෙස පාරම්බාමින් චන්දික හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කිරීමට 2017 වසරේ අවසන් භාගයේදී එවක ක්‍රිකට් පරිපාලනය කටයුතු කළා.

මෙරට ක්‍රිකට් ඉතිහාසයේ ඉහලම වැටුප සහ කණ්ඩාම පිලිබඳ තීරණ ගැනීමේ සර්ව බලධාරී අයිතිය ලබා දෙමින් එම තනතුරට පත් කෙරුණු හතුරුසිංහගේ කාලය තුළ සිදුවුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩා වැටීමේ වේගය වැඩිවීම පමණයි.

හතුරුසිංහගේ මාස 17 ක ධුර කාලයේ අවසන් වසර තුළ පමණක් ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ එක්දින තරග 28කින් තරග 20ක් පරාජය වුනා.

එමෙන්ම එම කාලය තුළ ශ්‍රී ලංකාව ජයගෙන තිබෙන්නේ එක් පන්දුවාර 20 තරගයක් සහ ටෙස්ට් තරග 3 ක් පමණයි.

පසු කාලීනව ක්‍රීඩකයන් තේරීමේ බලය ප්‍රධාන පුහුනුකරුගෙන් ඉවත් කර නව තේරීම් කමිටුවකට ලබා දුන් නමුත් පසුගිය ලෝක කුසලාන තරගාවලිය සඳහා ඔවුන් කණ්ඩායම තෝරාගත් ආකාරය කෙතරම් හාස්‍යජනක ද යන්න තරගාවලිය තුලදී හොඳින්ම දක්නට ලැබුණා.

අවාසනාවට කරුණ වුණේ මෙතරම් අගාධයකට කණ්ඩායම ඇද දැමීමෙන් පසුව හෝ මේ තනතුරු වල වෙනසක් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමු නොවීමයි.

මේ අතර ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඇතුළු සහය කාර්ය මණ්ඩලයේ ඉහල තනතුරු සියල්ල සඳහා අලුතින් අයදුම්පත් කැඳවන්නට එරට ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු වටය අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට ඉන්දියාව සමත් වුවත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙන්නේ හිටපු පුහුණු කාර්ය මණ්ඩලයේ සේවා කාලය දීර්ඝ නොකිරීමටයි.

කෙසේ වෙතත් දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වල පල්ලට යන පසුබිමක පවා එවැනි සාධනීය වෙනසක් කිරීම පිලිබඳ මෙරට ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බවක් පෙනෙන්නට තිබුණේ නැහැ.

මේ මස අගදී බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරග තුනෙන් පසුව වත්මන් පුහුණු කාර්යමණ්ඩලයට තනතුරු වලින් ඉල්ලා අස්වන ලෙස දන්වන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දෙන්නේ මෙවන් පසුබිමකයි.

කෙසේ වෙතත් කට මිස වැඩ නැති පුහුණුකරුවන් සහ තේරීම් කමිටුව ආරක්ෂා කිරීම පසුපස නිල පාලන බලය ගිලහී ගිය පසුවත් වෙනත් බලවේග හරහා ක්‍රිකට් පරිපාලනයට ඇඟිලි ගසන බළල් අතක් ක්‍රියාත්මක වන බව මේ වන විට ක්‍රිකට් කරලියේ ප්‍රසිද්ධ රහසක්.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියෝගයෙන් අනතුරුව හෝ මෙම ක්‍රිකට් මාෆියාවේ ග්‍රහණයෙන් මිදෙන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකියාව ඇතිද යන්න පිලිබඳ හිරු රෙඩ් කාඩ් අවධානයෙන්.