දැඩි මුදල් ප්‍රතිපත්ති හමුවේ බැංකුවල ණය ලබාදීමේ වර්ධනය මන්දගාමී වෙයි
ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ ණය ලබාදීමේ කැමැත්ත 2026 වසරේ දෙවන කාර්තුවේදී ඉහළ ගියද, එහි වර්ධන වේගය පළමු කාර්තුවට සාපේක්ෂව මන්දගාමී වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම ණය සැපයුම් සමීක්ෂණයෙන් අනාවරණ වී තිබෙනවා.මැයි මාසයේ සිදුකළ මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමෙන් අනතුරුව පවතින දැඩි මුදල් තත්ත්වය මීට බලපා ඇති බව මහ බැංකුව පෙන්වා දෙනවා.බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ආවරණය කරමින් සිදුකළ මෙම සමීක්ෂණයට අනුව, සිල්ලර, ආයතනික, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) සහ රාජ්‍ය ව්‍යවසාය (SOE) යන අංශ හතරේම ණය ලබාදීම සඳහා බැංකුවල කැමැත්ත දෙවන කාර්තුවේදී ඉහළ ගොස් තිබෙනවා.ආර්ථික තත්ත්වයන් වැඩිදියුණු වීම, ප්‍රතිපත්ති ස්ථාවරත්වය, යහපත් ද්‍රවශීලතා තත්ත්වයන් සහ වත්කම්වල ගුණාත්මකභාවය ඉහළ යාම බැංකුවල ණය ලබාදීමේ කැමැත්ත ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව මහ බැංකුව සඳහන් කරනවා.කෙසේ වෙතත්, තුන්වන කාර්තුවේදී බැංකුවල ණය ලබාදීමේ කැමැත්ත තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළද, එහි වේගය මන්දගාමී වනු ඇතැයි බැංකු පුරෝකථනය කර තිබෙනවා.උද්ධමන පීඩන, මෙහෙයුම් පිරිවැය ඉහළ යාම, විනිමය අනුපාතයේ අස්ථාවරත්වය සහ භූ දේශපාලනික අවිනිශ්චිතතා ඊට හේතු ලෙසයි බැංකු පෙන්වා දී ඇත්තේ.එමෙන්ම රාජ්‍ය ව්‍යවසාය අංශය සඳහා ණය ලබාදීමේ කැමැත්තද තුන්වන කාර්තුවේදී පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.මේ අතර, දෙවන කාර්තුවේදී සිල්ලර, ආයතනික, SME සහ SOE යන සියලුම අංශවල ණය සඳහා වූ ඉල්ලුම ඉහළ ගොස් තිබෙනවා.එහෙත් එහි වර්ධන වේගයද පෙර කාර්තුවට සාපේක්ෂව මධ්‍යස්ථ මට්ටමක පැවති බව සමීක්ෂණයෙන් හෙළි වී ඇති බව සඳහන් වෙනවා.වැඩිවන කාරක ප්‍රාග්ධන අවශ්‍යතා, කෙටිකාලීන ණය සඳහා වූ ඉල්ලුම සහ ආයෝජන ක්‍රියාකාරකම් යළි සක්‍රීය වීම ණය ඉල්ලුම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් දායක වී තිබෙනවා.රාජ්‍ය ව්‍යවසාය අංශයේ ණය ඉල්ලුමද අඛණ්ඩව ඉහළ ගොස් ඇති අතර, විශේෂයෙන් උපායමාර්ගික යටිතල පහසුකම් සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ඊට බලපා ඇති බව සඳහන්.තුන්වන කාර්තුවේදීද සියලුම අංශවල ණය ඉල්ලුම ඉහළ යනු ඇතැයි බැංකු අපේක්ෂා කරනවා.වැඩිවන කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සහ සාර්ව ආර්ථික තත්ත්වයන් වැඩිදියුණු වීම ඊට සහාය වනු ඇතැයි අපේක්ෂිතයි.තවද, බැංකු ක්ෂේත්‍රයේ අක්‍රීය ණය (NPL) ප්‍රමාණය දෙවන කාර්තුවේදී පළමු කාර්තුවට සාපේක්ෂව සමස්තයක් ලෙස පහළ ගොස් තිබෙනවා.සිල්ලර අංශයේ NPL තත්ත්වය වැඩිදියුණු වීමයි ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ.කෙසේ වෙතත්, ආයතනික, SME සහ SOE යන අංශවල NPL ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා.විනිමය අනුපාත අවප්‍රමාණය වීමෙන් ඇති වූ පිරිවැය පීඩන සහ මැදපෙරදිග අර්බුදය ආශ්‍රිත බාහිර බලපෑම් හේතුවෙන් ණය ගැතියන්ගේ ආපසු ගෙවීමේ හැකියාව දුර්වල වීම ඊට හේතු වී ඇති බව මහ බැංකුව පවසනවා.එමෙන්ම ඇතැම් ණය අවදානම් තුන්වන අදියරට (Stage III) මාරුවීමද NPL ඉහළ යාමට බලපා තිබෙනවා.තුන්වන කාර්තුවේදී ආර්ථික තත්ත්වයන් වැඩිදියුණු වීම, ණය ගැතියන්ගේ මුදල් ප්‍රවාහ ශක්තිමත් වීම, ණය අයකර ගැනීමේ ක්‍රියාමාර්ග සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හේතුවෙන් සියලුම අංශවල NPL ප්‍රමාණය පහළ යනු ඇතැයි බැංකු අපේක්ෂා කරනවා.මේ අතර, දෙවන කාර්තුවේදී බැංකු ණය අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමේ අනුපාතයද පළමු කාර්තුවට සාපේක්ෂව පහළ ගොස් තිබෙනවා.ආයතනික සහ රාජ්‍ය ව්‍යවසාය අංශවල ණය අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීම අඩුවීමයි ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ.එහෙත් සිල්ලර සහ SME අංශවල ණය අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමේ අනුපාතය ඉහළ ගොස් තිබෙනවා.එම අංශවල දැඩි ණය ඇගයීම් සහ අවදානම් කළමනාකරණ නිර්ණායක ක්‍රියාත්මක කිරීම ඊට හේතු වී ඇති බව මහ බැංකුව සඳහන් කරනවා.