ඩොලර් බිලියන 24.85ක් රටින් පිටකිරීමේ ජාවාරමේ තවත් ව්‍යාපාරිකයෙක් ලබන 01 වැනිදා තෙක් රිමාන්ඩ්
ව්‍යාජ සමාගම් පහක් පිහිටුවා ගනිමින් කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර අමරිකානු ඩොලර් බිලියන 24.85ක් විද්‍යුත් විගණන පැවරුම් (ටී ටී ඔස්සේ) හරහා රටින් පිට කළේ යැයි කියන සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයකු ලබන 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (23) නියෝග කළා.මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කොළඹ 12 පදිංචි නෙයිනා මොහොමදු මොහොමඩ් නමැත්තායි.මෙම සැකකරු මෙම සිද්ධියේ 07වන සැකකරු ලෙස නම් කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රජයේ නීතිඥ ඔස්වර්ල්ඩ් පෙරේරා කරුණු දක්වමින් මෙසේ පැවසුවා.“ස්වාමිනී, මෙරටින් ඩොලර් සංචිත පිට කිරීමේ මහා ජාවාරම සම්බන්ධව සිදු කරන විමර්ශනයේ 7 වන සැකකරු ලෙස මොහු නම් කරනවා. මෙහි ප්‍රධාන සැකකරු වන මොහොමඩ් ජෙෆ්රි හා මොහොම මුසාම්මිල් මොහොමඩ් ඉන් පාස් යන සැකකරුවන් හා සමානවම මෙම සැකකරු ව්‍යාජ සමාගම් පහක් පිහිටුවා තිබෙනවා. ලකී බ්‍රැන්ඩ් කියන සමාගමේ අධ්‍යක්ෂකවරයා ලෙස මෙම සැකකරු කටයුතු කර තිබෙනවා. සැකකාර බැංකු නිලධාරීන් සමග එක්ව මෙම ජාවාරම ක්‍රියාත්මක කර තිබෙනවා.මෙතෙක් විමර්ශනය කළ ව්‍යාජ සමාගම් 89 න් 72 ක ක්‍රියාකාරීත්වය මෙම සැකකරුවන් තිදෙනා විසින් දරා තිබෙනවා. අපට තව විමර්ශනය කළ යුතුව තිබෙන්නේ සමාගම් පහක් සම්බන්ධයෙන් පමණයි. එම නිසා සැකකරුට මෙම අවස්ථාවේදී ඇප ලබාදීමට තරයේ විරුද්ධ වනවා. මෙම සැකකරු තමන් සන්තකයේ තිබූ දේපළ සහ වාහන, තුන්වෙනි පාර්ශවයකට බැහැර කරලා. මේ හේතුවෙන් ඇප ලබා දුනහොත් විමර්ශනවලට බාධා වන වනවා.සැකකරු වෙනුවෙන් නීතිඥ ප්‍රසාද් සිල්වා කරුණු දක්වමින් සිය සේවාදායකයා පසුගිය නොවැම්බර් මාසයේ සිට කිසිදු ඩොලරයක් පිටරට යැවීමේ කාර්යයක නිරත වී නැතැයි පැවසුවා.ව්‍යාජ සමාගම පිළිබඳව රේගුව මගින් අනාවරණය කර ගැනීමෙන් පසුව රේගුවට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පූර්ණ සහය දක්වා ඇති බවද නීතිඥවරයා සඳහන් කළා.තම සේවාදායකයා ආනයනික භාණ්ඩ අඩු වටිනාකම් යොදා ආනයනය කිරීමට විද්‍යුත් විගණන පැවරුම් හරහා මුදල් බැර කිරීම කොමිස් මුදලක් ලබා ගැනීමට සිදුකර ඇති බවත්, ඔහුට එමගින් අත් වූ මහා පරිමාණ ලාභයක් නොමැති බවත් නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. එමෙන්ම මෙම විමර්ශනයට අදාලව තම සේවාදායකයා මුල සිටම සහාය දක්වා ඇති බැවින් ඇප මත මුදා හරින ලෙසද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරු ලබන 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.