උතුරු මැද පළාත් සභාව අහෝසිවීමේ අවදානමකින් බේරුණාද?

Tuesday, 06 January 2015 - 19:00

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B7%84%E0%B7%9D%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%AF%3F
එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ කරුණු දැක්වීමකින් පසු මේ මස 10 වැනිදා කැඳවීමට නියමිතව තිබූ උතුරුමැද පළාත් සභාව 9 වැනිදා කැඳවීමට තීරණය කර තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී උතුරුමැද පළාත් ප්‍රධාන ලේකම් එච්.එම්.ආර්.බී. හේරත් ප්‍රකාශ කළේ ආණ්ඩුකාරවරයා සමග සාකච්ඡා කර මෙම පියවර ගත් බවයි.

උතුරුමැද පළාත් සභාව කළින් නියමකරගත් පරිදි 10 වැනිදා කැඳවුවහොත් එය ඉබේම අහෝසිවීමේ අවදානමක් පවතින බව එක්සත් ජාතික පක්ෂ පලාත් සභා මන්ත්‍රී අරුණ බුද්ධික ගුණසේකර දන්වා තිබුණා. ඒ, පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ වෙත ලිපියක් යොමු කරමින්. පළාත් සභාවක සැසිවාරය අවසන් කර එය කල් තබා දින 60 කට පෙර නැවත කැඳවීම ආණ්ඩුකාරවරයා විසින් කළ යුතු බව පළාත් සභා ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ යැයි තමන් එම ලිපියේ සඳහන් කළ බව බුද්ධික ගුණසේකර මන්ත්‍රීවරයා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා. උතුරුමැද පළාත් සභාව අවසන් වරට නොවැම්බර් 10 වැනිදා රැස්වූ අතර ජනවාරි 10 වැනිදා එය යළි කැඳවන බව ප්‍රකාශ වුණා. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කර තිබුණේ එදිනට පළාත් සභාව කැඳවුවහොත් එය ඉබේ අහෝසි වන බවයි. අවසන් සැසිවාරය පවත්වා දින 60 ක් සම්පූර්ණ වන්නේ මේ මස 9 වැනිදා බව  ඔහු ඊට හේතු දක්වමින් පැහැදිළි කර තිබුණා. 10 වැනිදා වනවිට දින 61 ක් ගතවන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත් පළාත් සභාවක් කල් දැමීමෙන් පසු එය නැවත දින 60 ක් තුළ කැඳවිය යුතු බවට පවතින්නේ සාම්ප්‍රදායික මතවාදයක් බව ඇතැම් පාර්ශව සඳහන් කරනවා. පාර්ලිමේන්තු ක්‍රමවේදයට අනුව පළාත් සභාවද එවැනි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළත් ආණ්ඩුකාරවරයාට අවශ්‍ය  ඕනෑම අවස්ථාවක එය යළි දින 60 කට කල් දැමිය හැකිියි.

කෙසේ වෙතත් මේ පිළිබඳව කරුණු සාකච්ඡා කර පළාත් සභාව ජනවාරි 9 වැනිදා කැඳවීමට තීරණය කළ බවයි උතුරුමැද පළාත් ප්‍රධාන ලේකම් එච්.එම්.ආර්.බී. හේරත් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.