නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි. කැබිනට් අමාත්‍යවරුන් 27ක්, රාජ්‍ය අමාත්‍යවරුන් 10ක්. නියෝජ්‍ය අමාත්‍යවරුන් 8ක්.

Tuesday, 13 January 2015 - 8:15

%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92.+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+27%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+10%E0%B6%9A%E0%B7%8A.+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+8%E0%B6%9A%E0%B7%8A.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ නව රජයේ කැබිනට් මණ්ඩලය ඊයේ (12) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දෙනු ලැබුවා. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේදියි. නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් 27 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඊට රාජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙකු ද ඇතුළත් වනවා. නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 8ක්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ආර්ථික සංවර්ධන හා ප්‍රතිපත්ති සම්පාදන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අතර, ජෝන් අමරතුංග මහජන සාමය හා ක්‍රිස්තියානු ආගමික කටයුතු අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දෙනු ලැබුවා. ජෝශෆ් මයිකල් පෙරේරා දිවුරුම් දෙනු ලැබුවේ ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයේයි.

ආහාර හා සුරක්ෂිතතාව අමාත්‍යවරයා ලෙස ගාමිණී ජයවික්‍රම පෙරේරා දිවුරුම් දුන් අතර විදේශ අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවේ මංගල සමරවීරයි. කරු ජයසූරිය බුද්ධ ශාසන අමාත්‍ය ධුරයේත්,  ලක්ෂ්මන් කිරිඇල්ල වැවිළි කර්මාන්ත අමාත්‍ය ධුරයේත් දිවුරුම් දෙනු ලැබුවා. නව රජයේ මුදල් අමාත්‍ය ධුරය හිමි වූයේ රවී කරුණානායකටයි. රවුෆ් හකීම් නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලප්‍රවාහන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර, පාඨලී චම්පික රණවක දිවුරුම් දෙනු ලැබුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධුරයේයි.

නව රජයේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස රාජිත සේනාරත්න දිවුරුම් දුන් අතර වාරිමාර්ග අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවේ දුමින්ද දිසානායකයි. කබීර් හෂීම් මහාමාර්ග හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසත්, එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන ඉඩම් අමාත්‍යවරයා ලෙසත්, සජිත් ප්‍රේමදාස නිවාස හා සමෘද්ධි අමාත්‍යවරයා ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. අධිකරණ අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවේ විජේදාස රාජපක්ෂයි. එමෙන්ම ගයන්ත කරුණාතිලක ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.

නවීන් දිසානායක සංචාරක අමාත්‍යවරයා ලෙසත්, අර්ජුණ රණතුංග වරාය හා නාවික අමාත්‍යවරයා ලෙසත්, රිෂාද් බදියුදීන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන් අතර වතු යටිතල පහසුකම් අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවේ පී. දිගම්බරන්. ඞී. ස්වාමිනාදන් නැවත පදිංචි කිරීම් පුනරුත්ථාපන හා හින්දු කටයුතු අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අතර අධ්‍යාපන අමාත්‍ය ධුරය අකිල විරාජ් කාරියවසම්ට හිමි වුණා. තලතා අතුකෝරළට හිමිවූයේ විදේශ රැකියා අමාත්‍ය ධුරයයි. රංජිත් මද්දුම බණ්ඩාර අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යවරයා ලෙසත්, පී. හැරිසන් සමාජ සේවා හා සුබසාධන අමාත්‍යවරයා ලෙසත්, චන්ද්‍රානි බණ්ඩාර කාන්තා කටයුතු කැබිනට් අමාත්‍යවරිය ලෙසත් දිවුරුම් දෙනු ලැබුවා.

රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස මන්ත්‍රීවරුන් 10 දෙනෙකු දිවුරුම් දුන් අතර එහිදී නන්දිමිත්‍ර ඒකනායක සංස්කෘතික කටයුතු හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද, වී. රාධක්‍රිෂ්ණන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා. ඊට අමතරව  ෆයිසර් මුස්තාෆා  ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද, පාලිත රංගේබණ්ඩාර විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර, ධීවර  රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිලිප් වෙදආරච්චි සහ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස රෝසි සේනානායක දිවුරුම් දුන්නා. උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස රජිව් විජේසිංහ දිවුරුම් දුන් අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ රුවන් විජේවර්ධනයි. එමෙන්ම කේ. වේලායුදන් වැවිළි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර නිරෝෂන් පෙරේරා දිවුරුම් දුන්නේ තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

මේ අතර නියෝජ්‍ය අමාත්‍යවරුන් 8 දෙනෙකු ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන් අතර එහිදී චම්පික ප්‍රේමදාස කර්මාන්ත හා වාණිජ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, හර්ෂ ද සිල්වා ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, එරාන් වික්‍රමරත්න  මහාමාර්ග හා  ආයෝජන, ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දෙනු ලැබුවා.

අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සුජීව සේනසිංහ දිවුරුම් දුන් අතර  සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවේ වසන්ත සේනානායකයි. කාන්තා කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස විජයකලා මහේෂ්වරන් ද, අජිත් පී. පෙරේරා විදේශ කටයුතු  නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ අනෝමා ගමගේ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නා.