ජනපති මෛත්‍රීගේ අතුරු අයවැය අද

Thursday, 29 January 2015 - 8:06

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
ජන ජීවිතය නගා සිටුවීම සදහා විශේෂ පියවර ඇතුළත් අතුරු අයවැය පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. එය, මුදල් අමාත්‍යවරයා විසින් සිදුකරනු ලබන ප්‍රකාශයක් ලෙස මැතිසබයට ඉදිරිපත් වනු ඇතැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා කියා සිටියා. අතුරු අයවැයෙන් සහන රැසක් මෙන්ම රටේ වත්මන් ආර්ථිකය පිළිබඳව ද මුදල් අමාත්‍යවරයා විසින් විවරණයක් සිදුකිරීමට නියමිතයි. අතුරු අයවැය පිළිබද පාර්ලිමේන්තු විවාදය ලබන මස 5 සහ 6 යන දෙදින තුළ පැවැත්වීමට නියමිත බවයි සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේ. අතුරු අයවැයක් ප්‍රථම වරට මෙරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ 1931 වසරේදියි.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද දිනයේදී පාර්ලිමේන්තුව තුළ විශේෂ ප්‍රකාශයක්ද සිදුකිරිමට නියමිතයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයේදී ජනතාවට ඉදිරිපත් කළ දින 100යේ වැඩපිළිවෙල යටතේ දක්වා ඇති කඩිනම් සහන ලබාදීම අද දිනයේ සිදුකිරීමට නියමිතයි. මීට අමතරව මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක් යන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ රට නංවන ආර්ථියක් යන මාතෘකාව යටතේ සහන රැසක් පිළිබද සදහන් වනවා.

ජීවන බරින් පීඩා විදින ජනතාව ඉන් ගොඩ ගැනීම සදහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10ක මිල ගණන් පහත හෙලීම සදහා රේගු බදු ලිහිල් කිරීම ද ඉන් එකක්. මාසික සමෘද්ධි දීමනාව උපරිම වශයෙන් දෙගුණයකින් වැඩි කර ජන සවිය වැඩසටහනට අනුරූප වන ලෙස සැකසීම ද තවත් සහනයක්. රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීමට නියමිත අතර එහි පළමු කොටස ලෙස රුපියල් 5000ක් පෙබරවාරි මාසයේ සිට ගෙවීමට කටයුතු කරන බවයි එහි දැක්වෙන්නේ. විශ්‍රාමිකයන්ගේ වැටුප් විශමතා ඉවත් කෙරෙන තෙක් ඔවුන්ට රුපියල් 3500ක මාසික අන්තර් දීමනාවක් ලබාදීමට ද යෝජිතයි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතුවල පළමු ලක්ෂ 10 සදහා ගෙවන පොලිය සියයට 15 දක්වා ඉහළ දමන බවයි  ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්වෙන්නේ. ආර්ථික අඟහිඟකම්වලින් පෙළෙන දුප්පත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මාසික දීමනාව රුපියල් 1500කින් වැඩිකිරීමට ද යෝජිත බව එහි දැක්වෙන තවත් කරුණක්.