Update: රාජ්‍ය සේවක වැටුප 10,000 කින් ඉහළට, භූමිතෙල්, ගෑස් හා සිමෙන්ති මිලත් පහළට.

Thursday, 29 January 2015 - 14:26

Update%3A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4+10%2C000+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7%2C+%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7.
රාජ්‍ය සේවක වැටුප රුපියල් දස දහසකින් ඉහළ දැමීමටත්, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය 13 ක මෙන්ම, භූමිතෙල්, ගෑස් සහ සිමෙන්ති මිල පහළ දැමීමටත් නව රජය තීරණය කර තිබෙනවා. සමෘද්ධි දීමනාව ද දෙගුණයක් කරන බවයි මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් ප්‍රකාශ කෙරුණේ.

පෞද්ගලික අංශයේ වැටුප ද රුපියල් 2500 කින් වැඩිකරන ලෙස මුදල් අමාත්‍යවරයා එම සේවා යෝජකයන්ගෙන් ඉල්ලීමක් කළා. එමෙන්ම, විශ්‍රාම වැටුප රුපියල් දහසකින් වැඩි කිරීමටද මුදල් අමාත්‍ය රවී කරුණානායක යෝජනා කළා.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පත් පොලිය සියයට 15 දක්වා ඉහළ දැමූ අතර සරසවි සිසුන්ගේ මහපොළ ශිෂ්‍යත්ව දීමනාව රුපියල් 5000 දක්වා ඉහළ දැමුණා. විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තුව ද රුපියල් 1000 දක්වා අඩු කළා. පෙර පාසල් ගුරුවරුන්ට රුපියල් 250 ක දීමනාවක් ලබාදීමටත් දහම් පාසල් ගුරුවරුන්ට රුපියල් 200 ක දීමනාවක් ලබාදීමටත් අතුරු අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කෙරුණා.  

සීනි, කිරිපිටි, තිරිඟු පිටි, පාන්, මුංඇට, හාල්මැස්සන්, ටින්මාළු, කොත්තමල්ලි, මිරිස් ආදී අත්‍යාවශ්‍ය භාණ්ඩ 13 ක මිල අඩුකරන බව මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

මීට අමතරව භූමිතෙල් ලීටරයක මිල වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 6 කින් පහත දැමුණා. ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 300 කින් අඩු කෙරෙනවා.  සිමෙන්ති මිල රුපියල් 90 කින් අඩු කෙරෙන අතර, බස් ගාස්තු සියයට 10 කින් ද පාසල් වෑන් රථ ගාස්තු සියයට 5 කින් ද පහත වැටෙන බවයි මුදල් අමාත්‍යවරයා පැවසුවේ. එමෙන්ම, ජංගම දුරකථන - රීලෝඞ් සඳහා පාරිභෝගිකයා ගෙවූ සියයට 25 ක බද්ද අදාළ සමාගම විසින් දැරිය යුතු බවට වන නියමයක් ද පනවනු ලැබුවා. රාජ්‍ය බැංකුවල රන් භාණ්ඩ උකස් තබා රුපියල් ලක්ෂ 2 ක උපරිම මුදලක් ලබාගෙන ඇති පාරිභෝගිකයන්ගේ පොලී මුදල කපා හැරීමට ද යෝජනා කෙරුණා. අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වල පොලිය සියයට 15 කින් ඉහළ නැංවෙනවා.

රුපියල් ලක්ෂය දක්වා වන ගොවි ණය සියයට 50 කින් කපා හැරීමටත්, වී සඳහා රුපියල් 50 ක්, තේ දළු සඳහා රුපියල් 80 ක්, රබර් සඳහා රුපියල් 350 ක්, දියර කිරි සඳහා රුපියල් 70 ක් වන පරිදි සහතික මිලක් ලබාදීමටත් රජය තීරණය කර තිබෙනවා. එමෙන්ම, පොහොර සහනාධාරය ද අඛන්ඩව ලබාදෙන බව මුදල් අමාත්‍යවරයා සඳහන් කළා. ධීවරයන්ට ද රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදෙනු ඇති.

අශ්වබල 1000 කට අඩු එන්ජින් ධාරිතාව ඇති කුඩා මෝටර් රථ සඳහා අය කරන බද්ද සියයට 15 කින් අඩු කෙරෙනවා.

පවතින බදු ක්‍රමය සරල කරන බවයි මුදල් අමාත්‍ය රවී කරුණානායක පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේ. උපයන විට ගෙවීමේ බද්ද හෙවත් ආදායම් බද්ද ගෙවීමේ ආදායම් සීමාව, රුපියල් හය ලක්ෂයේ සිට හත් ලක්ෂ 50,000 දක්වා දීර්ඝ කළ මුදල් අමාත්‍යවරයා මන්දිර බද්ද, විගමන බද්ද හා සුපිරි වාසි නමින් නව බදු 3 ක් ද හඳුන්වා දුන්නා.

දුෂ්කර ප්‍රදේශවල ආයෝජනය කරන්නන්ගේ ලාභයෙන් සියයට 50 ක බදු අඩු කිරීමේ යෝජනාවක් ද ඉදිරිපත් කෙරුණා. ජී එස් පී ප්ලස් ආයෝජන සහනය යළි ලබා ගැනීම පිළිබඳව මෙන්ම මත්ස්‍ය අපනයනයට යුරෝපා සංගමය පනවා ඇති තහනම ඉවත් කර ගැනීමට ද කටයුතු කරන බවයි මුදල් අමාත්‍යවරයා කියා සිටියේ.

මීට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත අරමුදල රුපියල් මිලියන 5 සිට රුපියල් මිලියන 10 දක්වා ඉහළ නැංවීමටයි නව රජය තීරණය කර ඇත්තේ. අධ්‍යාපන වියදම ද අධ්‍යාපනය සඳහා වෙන් කරන වියදම ද දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට දෙකේ සිට 6 දක්වා ඉහළ නංවනු ඇති.

ශ්‍රී ලංකන් සහ මිහින්ලංකා ගුවන් සමාගම් ඒකාබද්ධ කිරීමට ද නියමිතයි. ජනාධිපති කාර්යාලයේ වියදම 2015 ට ඇස්තමේන්තු කළ මුදල වන කෝටි 9593, කෝටි 256 දක්වා පහත හෙළීමට නියමිතයි. සියලූ පුරවැසියන්ට බැංකු ගිණුමක් විවෘත කළ හැකි ක්‍රමයක් සැකසීමට ද යෝජනා කළා. දැයට කිරුළ මින් ඉදිරියට නොපැවැත්වීමට ද රජය තීරණය කර තිබෙනවා.

කැසිනෝ බලපත්‍රලාභීන්ගෙන් ලබන අප්‍රේල් වන විට රුපියල් මිලියන දහසක බද්දක් අය කර ගැනීමට ද රජය තීරණය කළ බවයි මුදල් අමාත්‍යවරයා පැවසුවේ.

ක්‍රීඩාව සඳහා පමණක් වෙන් වූ නාලිකාවෙන් එක්වරක් පමණක් ගෙවිය යුතු රුපියල් මිලියන දහසක බද්දක් අය කෙරෙනවා. චන්ද්‍රිකා නාලිකා සේවා සපයන ආයතනවල පරිභෝගික සංඛ්‍යාව 50,000 ට වැඩිනම් රුපියල් මිලියන 1000 ක බද්දක් ගෙවිය යුතුයි. ජංගම දුරකථන ලියාපදිංචි කරන සමාගම්වලින් ද රුපියල් මිලියන 250 ක බද්දක් අය කෙරෙනු ඇති.




...............................................................................................................

අතුරු අයවැය වාර්තාව

උම්මලකඩ සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 200 කින් අඩු කිරීමට අතුරු අයවැයෙන් යෝජනා කෙරුණු අතර, වියළි මිරිස් සඳහා පැවති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 25 කින් අඩු කිරීමටයි මුදල් අමාත්‍යවරයා යෝජනා කළේ. එන්ජින් ධාරිතාව 1000 ට අඩු එන්ජින් ධාරිතාවයෙන් යුත් මෝටර් රථ සඳහා අය කරන බදු සියයට 15 කින් අඩු කිරීමට යෝජනා කෙරුණු අතර, රුපියල් මිලියන 1000 ක විශේෂ බද්දක් කැසිනෝ බලපත්‍ර හිමියන්ගෙන් අය කරන බව ද අතුරු අයවැය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක සඳහන් කළා. එමෙන්ම, එක් පුද්ගලයෙකුට පවත්වාගෙන යා හැක්කේ මත්පැන් බලපත්‍ර 3 ක් පමණක් බව සඳහන් කළ මුදල් අමාත්‍යවරයා දේශීය වශයෙන් මත්පැන් නිෂ්පාදනය කරන ආයතන සඳහා රුපියල් මිලියන 200 ක නව බද්දක් පනවනු ලැබුවා.

...............................................................................................................

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට බස් ගාස්තු 50% කින් අඩු කරන බව  මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේ අතුරු අයවැය ප්‍රකාශයේ දී දැන් ප්‍රකාශ කළා.

එමෙන්ම මහපොළ ශිෂ්‍යත්වය රුපියල් 5000 දක්වා ඉහළට සහ පෙරපාසැල් ගුරුවරු දීමනාව රු 250 කින්ද දහම්පාසැල් ගුරුවරු දීමනාව රු 200 ක් ද ශ්‍රී ලන්කන් හා මිහින් ලංකා ගුවන් සමාගම් ඒකාබද්ධ කිරීමට යෝජනා කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේ අතුරු අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළා.

...............................................................................................................

ජංගම දුරකතන රීලෝඩ් කිරීමේදී අයකළ 25% බද්ද ඉවතට

ජංගම දුරකථන - රීලෝඞ් සඳහා අයකරන සියයට 25 ක බද්ද අදාළ සමාගම් විසින් දැරිය යුතු අතර එය පාරිභෝගිකයාගෙන් අය කර නොගන්නා ලෙසයි අතුරු අයවැයෙන් යෝජනා කෙරුණේ. එමෙන්ම ක්‍රීඩා නාලිකා සඳහා රුපියල් මිලියන 1000 ක බද්දක් පැනවේ
...............................................................................................................

එන්ජින් ධාරිතාව 1000 අඩු වාහන සඳහා 15% බදු සහන

එන්ජින් ධාරිතාව 1000 අඩු වාහන සඳහා 15% බදු සහනයක් සහ Hybrid මෝටර් රථ වල බදු අද මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කරනු ඇත

...............................................................................................................

විවාහ ලියාපදිංචි ගාස්තුව රුපියල් 1000 දක්වා අඩුවෙයි

විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 5000 සිට රුපියල් 1000 දක්වා අඩු කිරීමට යෝජනා

...............................................................................................................


අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස්  රුපියල් 300 කින් බහී

කිලෝග්‍රෑම් 12 දශම 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කින් අඩු කිරීමට අතුරු අයවැය මගින් යෝජනා කෙරුණා. මුදල් අමාත්‍ය රවී කරුණානායක සඳහන් කළේ ඒ අනුව, ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1596 ක් වන බවයි. එමෙන්ම, සිමෙන්ති කිලෝග්‍රෑම් 50 ක කොට්ටයක මිල රුපියල් 90 කින් අඩු කිරීමට යෝජනා කෙරුණු අතර මත්පැන් නිෂ්පාදනය කරන මෙරට ආයතනවලින් රුපියල් මිලියන 200 ක බද්දක් අය කිරීමට ද යෝජනා කෙරුණා.

...............................................................................................................

අතුරු අයවැයෙන් භූමිතෙල් රුපියල් 6 කින් අඩු වේ. සීනි රුපියල් 10 කින් අඩුවේ

මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පවතින අතුරු අයවැයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි භූමිතෙල් ලීටරයක මිල රුපියල් 6 කින් අඩු කිරීමට යෝජනා කෙරුණා. රුපියල් 65 ක්ව පැවති භූමිතෙල් මිල ඒ අනුව රුපියල් 59 ක් වන බවයි මුදල් අමාත්‍ය රවී කරුණානායක සඳහන් කළේ. අත්‍යාවශ්‍ය භාණ්ඩ 13 ක මිල අතුරු අයවැයෙන් අඩු කිරීමට යෝජනා කරන බව ප්‍රකාශ කළ මුදල් අමාත්‍යවරයා සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින්, අඩු කරන බව ප්‍රකාශ කළා. කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 61 කින් අඩු කළ අතර, ඒ අනුව එහි නව මිල රුපියල් 325 ක්. තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 12 යි ශත 50 කින් අඩු කිරීමට යෝජනා කළ බව ප්‍රකාශ කළ මුදල් අමාත්‍යවරයා ඒ හේතුවෙන් පාන් ගෙඩියක මිල රුපියල් 6 කින් අඩු වනු ඇති බවටයි විශ්වාසය පළ කළේ.

මේ අතර, නැවුම් කිරි ලීටරයක් සඳහා ලබාදෙන රුපියල් 60 සඳහා තවත් රුපියල් 10 ක් එක් කර රුපියල් 70 ක් ලබාදීමට එහිදී යෝජනා කෙරුණා. එමෙන්ම, පොහොර සහනාධාරය තවදුරටත් ලබාදීමට ද අතුරු අයවැයෙන් යෝජනා කෙරුණු අතර, ගොවි ණය සියයට 50 කින් කපා හැරීමට ද තවත් එක් යෝජනාවක්. වී කිලෝවක් සඳහා රුපියල් 50 ක සහතික මිලක් මෙන්ම, රබර් කිලෝවක් සඳහා රුපියල් 350 ක සහතික මිලක් සහ තේ දළු කිලෝවක් සඳහා රුපියල් 80 ක සහතික මිලක් අතුරු අයවැයෙන් යෝජනා කෙරුණා.

...............................................................................................................

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 6 කින් අඩුවේ

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 6 කින් අඩුවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේ අතුරු අයවැය ප්‍රකාශයේ දී දැන් ප්‍රකාශ කළා.

...............................................................................................................

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතුවලට 15%  ඉහල පොලියක්

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ වාණිජ බැංකුවල  රුපියල් මිලියනයක් වන ස්ථාවර තැන්පතු වලට 15% ක ඉහළ පොලියක් ගෙවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේ අතුරු අයවැය ප්‍රකාශයේ දී දැන් ප්‍රකාශ කළා.

...............................................................................................................

රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කෙරේ

දින 100 වැඩසටහන යටතේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කිරීමට අතුරු අයවැයෙන් යෝජනා කළ අතර එහි පළමු පියවර වශයෙන් පෙබරවාරි මාසයේදී රාජ්‍ය සේවක වැටුප රුපියල් 5000 කින් වැඩිකරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක අතුරු අයවැය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා. අතුරු අයවැය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ ඉතිරි රුපියල් 5000 ලබන ජුනි මාසයේදී ලබාදීමට කටයුතු කරන බවයි. එමෙන්ම, පෞද්ගලික අංශයේ සේවකයින්ගේ මාසික වැටුප රුපියල් 2500 කින් වැඩිකරන ලෙස මුදල් අමාත්‍යවරයා එහිදී ඉල්ලා සිටියා. පන්ලක්ෂ 59,000 ක් වන විශ්‍රාමිකයින් සඳහා ලබන අප්‍රේල් මාසයේ සිට ඔවුන්ගේ විශ්‍රාම වැටුපට රුපියල් 1000 ක් එකතු කිරීමට ද අතුරු අයවැයෙන් යෝජනා කෙරුණා. එමෙන්ම අනාගතයේදී සමෘද්ධි දීමනාව ලබාදීමට වඩාත් කාර්යක්ෂම ක්‍රමයක් යෝජනා කරන බව සඳහන් කළ මුදල් අමාත්‍යවරයා සියයට දෙසියයකින් සමෘද්ධි දීමනාව වැඩිකරන බව ප්‍රකාශ කළ අතර එහි උපරිමය රුපියල් 2000 ක්.

...............................................................................................................

මෛත්‍රීපාල සිරිසේන රජය අතුරු අයවැය මැතිසබයට ඉදිරිපත් කෙරේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රජය මගින් ඉදිරිපත් කරනු ලබන අතුරු අයවැය මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කළා. මුදල් අමාත්‍යවරයා විසින් අතුරු අයවැය ඉදිරිපත් කිරීමට පෙර අද (29) දිනයේ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කරමින් පළමුවෙන්ම සිදුවූයේ නව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස ජයසිංහ බණ්ඩාර කතානායක චමල් රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දීමයි. ඒ, පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පැමිණි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසුව පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය වෙනුවෙන්. මේ අතර, පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ස්ථාවර නියෝග යටතේ ප්‍රකාශයක් සිදුකරමින් අගවිනිසුරු සිද්ධිය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා වෙත ප්‍රශ්නයක් යොමුකළා. එහිදී, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ද ස්ථාවර නියෝගය යටතේ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ප්‍රශ්නයක් යොමුකළ අතර ඊට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේ හෙට තමන් ඒ සම්බන්ධයෙන් පිළිතුරක් ලබාදෙන බවයි.

මේ අතර, ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ සමාගම් 3 කට නිකුත් කර තිබූ කැසිනෝ සහ සූදුසැල් පවත්වාගෙන යාමේ අවසරය තහනම් කිරීමට ඊයේ රැස් වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව ද අග්‍රාමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.