මොහාන් පීරිස් ඉවත් කළ ආකාරය ගැන විපක්ෂ නායකගේ විරෝධය.

Thursday, 29 January 2015 - 19:29

%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%86%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA.
නියමිත ක්‍රියා පටිපාටියෙන් බැහැර වී අගවිනිසුරු මොහාන් පීරිස් ධුරයෙන් ඉවත් කිරීම නීතියට මෙන්ම යහපාලනයට ද පටහැනි බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා අද (29) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, අධිකරණ සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ 43 වන අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක නැවත එම ධුරයේ පිහිටුවීමට ජනාධිපතිවරයා ගත් තීරණය පිළිබඳව තම ප්‍රසාදය පළ කරන බවයි. එම සංගමයේ සභාපති දිසා විනිසුරු, වසන්ත ජිනදාස සහ එහි ලේකම් දිසා විනිසුරු රංග දිසානායක මෙම නිවේදනයට අත්සන් තබා තිබෙනවා.

මේ අතර, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි, හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ට තර්ජනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ද විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයාගෙන් කරුණු විමසා සිටියා.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙසයි. මන්ත්‍රීවරයා අදහස් දැක්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද ඊට මැදිහත් වුණා. එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ හෙට (30) තමන් මේ සම්බන්ධයෙන් පිළිතුරක් ලබාදෙන බවයි.

ඊයේ යලි අගවිනිසුරු ධුරයේ වැඩභාර ගත් ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අද එම ධුරයෙන් විශ්‍රාම ගත් අතර, ඇයට සුබ පැතීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමය අලූත්කඬේ උපරිමාධිකරණ සංකීර්ණයේදී විශේෂ උත්සවයක් ද සංවිධානය කර තිබුණා. එහිදී අදහස් දක්වමින් ඇය සඳහන් කර ඇත්තේ තමන්ට යුක්තිය ඉටුවීම පිළිබඳව සතුටට පත්වන බවයි.
 
මේ අතර, එම උත්සව සභාව ඇමතූ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය කියා සිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් නොනැවතී ගමන් කළ සටනේ ප්‍රතිඵලය අද විශිෂ්ඨ ජයග්‍රහණයකින් හමාර වී ඇති බවයි. එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් පත් කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශ ලබාදීම සඳහා අගවිනිසුරු, අභියාචනාධිකරණ සභාපති, නීතිපති හා නීතීඥ සංගමයේ සභාපති යන තනතුරුවලින් යුත් ස්වාධීන කමිටුවක් පත් කිරීමට ද රජය සූදානම්ව සිටින බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, මීළඟ අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨම විනිසුරු කේ. ශ්‍රීපවන් ලබන සඳුදා වනවිට ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා. ඔහු මේ බව අනාවරණ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.