Update : සංහිඳියාව තුළින් මානවවාදී දේශයක් ගොඩනගමු - නිදහස් දින උළෙල අමතමින් ජනපති කියයි

Wednesday, 04 February 2015 - 9:36

Update+%3A+%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B6%9C%E0%B6%B8%E0%B7%94+-+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
67 වන ජාතික නිදහස් දින සැමරුම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේදී අභිමානවත් අයුරින් අද (04) පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන්.

පොලිස්පති එන්.කේ.ඉලංකෝන්, ගුවන් හමුදාපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් දයා රත්නායක සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ජගත් ජයසූරිය පළමුව උත්සව භූමියට පැමිණියා. පසුව ජනාධිපති ලේකම්වරයා, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා, ස්වදේශ කටයුතු අමාත්‍යවරයා උත්සව භූමියට පැමිණි බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ. අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, කථානායක චමල් රාජපක්ෂ,  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග උත්සව භූමියට පැමිණීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 67 වන ජාතික නිදහස් දින සමරු උත්සවය පැවැත්වෙන පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය අසලට ළඟා වුණා. එහිදී ජනාධිපතිවරයා පිළිගත්තේ අග්‍රාමාත්‍යවරයා සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින්. රජයේ අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන්, විපක්ෂ නායකවරයා, විපක්ෂ මන්ත්‍රීවරුන්, විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාව වනවිටත් උත්සව භූමියට පැමිණ සිටියා.

ඉන් අනතුරුව, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රධාන කොඩි කණුව වෙත කැඳවාගෙන ගියා. එහිදී ජාතික ධජය එසවීම සිදුකෙරුණු අතර, ජාතික ගීය ගායනා කරනු ලැබුවා. ඒ සඳහා පාසල් දරුවන් සිය දෙනෙකු සහභාගි වී සිටීම විශේෂත්වයක්. දේවෝවස්සතු කාලේන ගායනා කිරීම සිදුවුණේ ඉන් අනතුරුවයි.

රට වෙනුවෙන් ලේ දහඩිය කඳුළු කැප කළ විරුවන් වෙනුවෙන් විනාඩි 2 ක නිහඬතාවක් පළ කිරීමෙන් පසු ජනාධිපති සම්මාන පිරිනමමින් ජනාධිපතිවරයා වෙනුවෙන් ආචාර වෙඩි මුර 21 පවත්වනු ලැබුවා. පාසල් දරුවන් තිදෙනෙකු විසින් භාෂා ත්‍රිත්වයෙන් සාම ප්‍රකාශනය ඉදිරිපත් කළ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජාතිය ඇමතුවේ ඉන් පසුවයි.

වර්තමානයේ මෙරට අභියෝගය වී ඇත්තේ උතුරේ සහ දකුණේ ජනතාව තුළ සංහිඳියාව ඇති කරමින් මානවවාදී දේශයක් ලෙස ඉදිරියට ගෙන යාම බව ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

නව රජයේ ප්‍රධාන අපේක්ෂාව දුගී බව තුරන් කිරීම බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී අවධාරණය කළ අතර මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් ඔස්සේ ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. 

ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය සහ ශිෂ්‍ය භට බලකාය මෙන්ම, යොවුන් සේනාංකය එක්ව පවත්වනු ලැබූ ආචාර පෙළපාලිය ආරම්භ වුණේ ඉන් අනතුරුවයි. 6000කට වැඩි පිරිසක් ඊට එක්වුණා. ආචාර පෙළපාලියට සියලූ ජාතීන් නියෝජනය වන පරිදි සංස්කෘතික විශේෂාංගයන් එක්කර තිබීම ද විශේෂත්වයක්.

ජාතික නිදහස් දිනයට සමගාමීව පළාත් මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් බොහෝ ප්‍රදේශවල නිදහස් සැමරුම් උත්සව සංවිධාන කර තිබුණා.

Update : Wednesday, 04 February 2015 - 10:00
-------------------------------------------
ජනපති නිදහස් සැමරුම අමතයි

67 වන නිදහස් දින සැමරුම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය අසල ක්‍රීඩාංගනයේදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු සම්භාවනීය අමුත්තන් ප්‍රධාන උත්සවය පැවැත්වෙන ස්ථානයට පැමිණ අවසන් වීමෙන් අනතුරුවයි එහි වැඩකටයුතු ආරම්භ වුණේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා, ත්‍රිවිද හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයා ඉන් අනතුරුව ප්‍රධාන කොඩි කණුව වෙත කැඳවාගෙන ගොස් ජාතික ධජය එසවීම සිදුකෙරුණු අතර, පසුව ජාතික ගීය ගායනා කරනු ලැබුවා. ඒ සඳහා පාසල් දරුවන් සිය දෙනෙකු සහභාගි වුණා. නිදහස් සැමරුම් උළෙල අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ නිදහස වෙනුවෙන් කැප කිරීම් සිදුකළ සියලූ දෙනා මේ මොහොතේ සිහිපත් කළ යුතු බවයි.