කැබ් දුම්රිය ගැටුමෙන් හතරක් මරුට

Wednesday, 04 February 2015 - 14:53

%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ප්‍රධාන දුම්රිය මාර්ගයේ රාගම - බටුවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (04) පස්වරු දෙකයි 20 ට පමණ කැබ් රථයක් දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් එකම පවුලේ පියා, පුතුන් දෙදෙනා සහ දියණිය මියගියා. තුවාල ලැබූ මව සහ තවත් දියණියක මේ වනවිට රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මාතර සිට වවුනියාව බලා ධාවනය වෙමින් තිබූ රජරට රැජින සීග්‍රගාමී දුම්රියේ ගැටීමෙනුයි  මෙම අනතුර සිදුව තිබුණේ. බටුවත්ත දුම්රිය ස්ථානය අසල පවතින්නේ බෙල් ඇන්ඞ් ලයිට් හෙවත් ආරක්ෂිත විදුලි සීනු සහ ආලෝක සංඥා සහිත දුම්රිය හරස් මාර්ගයක්. එම ස්ථානයේ නතර කර තිබූ කැබ් රිය එක් දුම්රියක් කොළඹ දෙසට ගමන් කිරීමෙන් පසු සංඥා නොතකා ප්‍රධාන දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කර තිබෙනවා. එම අවස්ථාවේදියි කොළඹ සිට වවුනියාවට ගමන් කළ රජරට රැජින දුම්රියේ එය ගැටී ඇත්තේ. අනතුරෙන් 51හැවිරිදි ධර්මසිරි රාජ් කුලතුංග වන පියා මෙන්ම, 19 හැවිරිදි  හර්ෂ තරිඳු, 14 හැවිරිදි ළහිරු සාලිංග යන පුතුන් සහ 21 හැවිරිදි අංජලී ප්‍රබුද්ධි දියණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා. තුවාල ලැබූ ඔවුන්ගේ මව වන තුෂාරිකා රාජ් කුලතුංග සහ 11 හැවිරිදි තරුෂි මධුෂානි නැමති අනෙක් දියණියයි රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ. ඔවුන් මීගමුව - වෑහුලූපිටිය - නුගවෙල පාරේ පදිංචිකරුවන්. රාගම ප්‍රදේශයේ තම ඥාති නිවසකට පැමිණෙමින් සිටියදී රාජ් කුලතුංග පවුල මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුවුණා.