බටුවත්ත දුම්රිය හරස් මඟට ගේට්ටුවක්

Thursday, 05 February 2015 - 7:46

%E0%B6%B6%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B6%9F%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
එකම පවුලේ හතරදෙනෙකුට මරු කැඳවූ රාගම - බටුවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේ ඇති දුම්රිය හරස් මාර්ගයට ආරක්ෂක දුම්රිය ගේට්ටුවක් සවි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ප්‍රධාන දුම්රිය මාර්ගයේ රාගම - බටුවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ පස්වරුවේ  කැබ් රථයක් දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් එකම පවුලේ පියා, පුතුන් දෙදෙනා සහ දියණිය මියගියා. තුවාල ලැබූ මව සහ තවත් දියණියක් තවමත් රාගම රෝහලේ ප්‍රතිකාර ලබන අතර.  මව ශල්‍යකර්මයක් සඳහා යොමුකර ඇති බවයි රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මාතර සිට වවුනියාව බලා ධාවනය වෙමින් තිබූ රජරට රැජින සීග්‍රගාමී දුම්රියේ ගැටීමෙනුයි  මෙම අනතුර සිදුව තිබුණේ. බටුවත්ත දුම්රිය ස්ථානය අසල පවතින්නේ බෙල් ඇන්ඞ් ලයිට් හෙවත් ආරක්ෂිත විදුලි සීනු සහ ආලෝක සංඥා සහිත දුම්රිය හරස් මාර්ගයක්. එම ස්ථානයේ නතර කර තිබූ කැබ් රිය එක් දුම්රියක් කොළඹ දෙසට ගමන් කිරීමෙන් පසු සංඥා නොතකා ප්‍රධාන දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කර තිබෙනවා. එම අවස්ථාවේදියි කොළඹ සිට වවුනියාවට ගමන් කළ රජරට රැජින දුම්රියේ එය ගැටී ඇත්තේ.

අනතුරෙන් 51 හැවිරිදි ධර්මසිරි රාජ් කුලතුංග වන පියා මෙන්ම, 19 හැවිරිදි  හර්ෂ තරිඳු, 14 හැවිරිදි ළහිරු සාලිංග යන පුතුන් සහ 21 හැවිරිදි අංජලී ප්‍රබුද්ධි දියණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා. තුවාල ලැබූ  41 හැවිරිදි මව වන තුෂාරිකා රාජ් කුලතුංග සහ 11 හැවිරිදි තරුෂි මධුෂානි නැමති අනෙක් දියණියයි රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ. ඔවුන් මීගමුව - වෑහුලූපිටිය - නුගවෙල පාරේ පදිංචිකරුවන්. රාගම ප්‍රදේශයේ තම ඥාති නිවසකට පැමිණෙමින් සිටියදී ඔවුන් මෙලෙස අනතුරට ලක්වුණා.

සංඥා නොතකා ධාවනය කිරීම මෙම අනතුරට හේතුවී ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී විජය අමරතුංග ප්‍රකාශ කළේ. නමුත් බටුවත්ත ප්‍රදේශවාසීන් සඳහන් කරන්නෙ මීට පෙරද මෙම ස්ථානයේදී  දුම්රිය අනතුරු කිහිපයක් සිදුවූ බවයි. එම අවස්ථාවලදීද බලධාරීන් හට මෙම ස්ථානයට ආරක්ෂිත ගේට්ටුවක් සවි කරන ලෙස දැනුම් දුන්නද ඒ පිළිබඳව නිසි අවධානය යොමු නොකළ බවයි ප්‍රදේශවාසීන් චෝදනා කළේ.

දැනට දිවයින පුරා දුම්රිය හරස් මාර්ගයන් 1100 ක් පවතිනවා. එයින් ස්ථාන 400 කටම බෙල් ඇන්ඞ් ලයිට් ක්‍රමය හෝ දුම්රිය ආරක්ෂිත ගේට්ටු සවිකර ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී විජය අමරතුංග සඳහන් කළේ. තවත් දුම්රිය හරස් මාර්ග 640 ක් සේවකයින් යොදාගනිමින් පාලනය කරන බවයි ඔහු කියා සිටියේ. කෙසේ වෙතත් ඇතැම් රියදුරන් මෙම සංඥා නොතකා ධාවනය කිරීමෙන් අනතුරු වැඩි වශයෙන් සිදුවන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී විජය අමරතුංග වැඩිදුරටත් අවධාරණය කළේ.