Update: අම්බලන්තොට සිසුවාගේ සිරුරු කොටස් කොළඹට

Friday, 06 February 2015 - 10:27

Update%3A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7
පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ මැරතන් තරඟයට සහභාගි වී සිටියදී හදිසියේ රෝගාතුර වී ජීවිතක්ෂයට පත්වූ චමෝද් සත්සර සිසුවාගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා. හම්බන්තොට රෝහලේ ප්‍රකාශකයෙකු සදහන් කළේ අද (06) දිනයේම එම සිරුරු කොටස් කොළඹට එවන බවයි. අද පස්වරුවේ හම්බන්තොට රෝහලේ දී සිදුකෙරුනු පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු චමෝද්ගේ මරණයට අදාළව ලබාදී ඇත්තේ විවෘත තීන්දුවක්. ඒ අනුවයි සිරුරු කොටස් රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇත්තේ.

අම්බලංතොට - බෝලාන නවෝද්‍යා පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ මැරතන් තරඟයට සහභාගි වෙමින් සිටියදීයි චමෝද් සත්සර සිසුවා අද මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දුන්නේ. පාසලේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ චමෝද් මැරතන් තරඟයේදී ඇද වැටීමෙන් පසුව ප්‍රතිකාර සඳහා රැගෙන ආවේ අම්බලන්තොට රෝහලටයි. චමෝද් රෝහලට රැගෙන එන විටත් මිය ගොස් සිටි බව අම්බලන්තොට රෝහලේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා. අම්බලන්තොට ධීවර ගම්මානයේ පදිංචි චමෝද්, පිරිමි දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවායි.

මීට පෙර වසරවලදී ද චමෝද් සත්සර සිසුවා මැරතන් තරඟවලට සහභාගි වුණු බව අම්බලන්තොට - බෝලාන නවෝද්‍යා පාසලේ විදුහල්පති ජේ.වී.පී. කරුණාරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.

මේ අතර අම්බලන්තොට - කුඩාබෝලාන විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවියක් ද ඊයේ රාත්‍රියේ සිය නිවසේදී මිය ගොස් තිබුණා. මෙම සිසුවිය ද පසුගිය දින කිහිපය තුළ පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලට අදාළව තරඟ ඉසව් කිහිපයකට සහභාගිවී තිබීම විශේෂත්වයක්. ඊයේ රාත්‍රියේ නිවසේ පාඩම් කරමින් සිටියදී එකවර ඇද වැටී ඇති ඇය අම්බලන්තොට රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටියා. ඇයගේ මරණය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය ද අද පස්වරුවේ හම්බන්තොට මහ රෝහලේදී සිදු කර තිබෙනවා. එම මරණය පිළිබදව ද ගැටළු පවතින නිසා ඇයගේ සිරුරු කොටස් ද රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙසයි අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නියෝග කර ඇත්තේ.



Update: Friday, 06 February 2015 - 07:47 PM
-----------------------------------------------------
මැරතන් ගිය පාසල් සිසුවා ජීවිතයට සමුදෙයි

අම්බලංතොට - බෝලාන නවෝද්‍යා පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ මැරතන් තරඟයට සහභාගිව සිටි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අම්බලංතොට පොලිසිය ප්‍රකාශ කළේ අද (06) උදෑසන පැවති පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ මැරතන් තරඟ ඉසව්වට සහභාගි වී සිටියදී ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මෙලෙස මියගොස් ඇත්තේ එම පාසලේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක්. මොහු අම්බලංතොට රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් සිටි බව පොලිසිය සඳහන් කළා. පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව සිසුවා මියයාමට නිශ්චිත හේතුව අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බවයි පොලිසිය කියා සිටියේ.
















ඡායාරූප - සනත් ගමගේ