Update: අතුරු අයවැය වැඩි ඡන්ද 163 කින් සම්මතයි

Saturday, 07 February 2015 - 15:07

Update%3A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+163+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
රජය ඉදිරිපත් කළ අතුරු අයවැය අද (07) වැඩි ඡන්ද 163 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. අතුරු අයවැයට පක්ෂව ඡන්ද 164 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණයි. මෙහිදී අතුරු අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාරයි. මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර, ලංකා සමසමාජ පක්ෂයේ නායක තිස්ස විතාරණ, නව සමාජ පක්ෂයේ නායක වාසුදේව නානායක්කාර සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අතුරු අයවැය ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. එම පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිටින සෙසු මන්ත්‍රිවරුන්ද ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. ගීතාංජන ගුණවර්ධන, වයි.ජී. පද්මසිරි, චන්ද්‍රසිරි ගජධීර, වීරකුමාර දිසානායක සහ ශ්‍රියාණි විජේවික්‍රම අද අතුරු අයවැයට ඡන්දය ප්‍රකාශ නොකළ මන්ත්‍රීවරුන් අතර වන බවයි හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර අතුරු අයවැය ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් සභා ගර්භයේ නොසිටි බව එහි සිටින ෂා මාණ්ඩලික  වාර්තාකරු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඡන්ද විමසීම අවසන්වීමෙන් පසු අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ අතුරු අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ මෙන්ම විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ සහ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි මන්ත්‍රීවරුන්ටද තමන් ස්තූතිය පළ කරන බවයි. 



Update: Saturday, 07 February 2015 - 06:57 PM
...................................
අතුරු අයවැයේ ඡන්ද විමසීම අද

රජය ඉදිරිපත් කල අතුරු අයවැය පිළිබඳ ඡන්ද විමසීම අද (07) පස්වරු 5.30 ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවනවා.