අයවැයේදී ජ.වි.පෙ මඟහරී - ජා.නි.පෙ

Sunday, 08 February 2015 - 19:08

%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%A2.%E0%B7%80%E0%B7%92.%E0%B6%B4%E0%B7%99+%E0%B6%B8%E0%B6%9F%E0%B7%84%E0%B6%BB%E0%B7%93+-+%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B1%E0%B7%92.%E0%B6%B4%E0%B7%99
ආණ්ඩුවේ අතුරු අයවැයට ඡන්දය විමසන අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් තුන්දෙනා සභා ගර්භයේ නොසිටියේ මන්දැයි ජාතික නිදහස් පෙරමුණ ප්‍රශ්න කරනවා. එහි මධ්‍යම කාරක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක මෙම ප්‍රශ්න කිරීම කරනු ලැබුවේ අද (08) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පාර්ලිමේන්තුවේ ඊයේ පැවති ඡන්ද විමසීමේදී අතුරු අයවැයට පක්ෂව ඡන්ද 164 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර අයවැයට එලෙස විරුද්ධව ඡන්දය භාවිතා කළා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ අතුරු අයවැය ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. මීට අමතරව ගීතාංජන ගුණවර්ධන, වයි.ජී. පද්මසිරි, චන්ද්‍රසිරි ගජධීර හා වීරකුමාර දිසානායක යන මන්ත්‍රීවරුන් ද අයවැයට ඡන්දය ප්‍රකාශ කළේ නැහැ.

අද පැවැති මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභික පියසිරි විජේනායක කියා සිටියේ රජය ඉදිරිපත් කළ අයවැයෙන් ජනතාවට සහන රැසක් දී ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවයි. එහෙත් ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේදී ඔවුන් සභා ගර්භයේ නොසිටි බවට ද ඔහු චෝදනා කළා. මේ පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගෙන් කරුණු විමසූ අතර ඔහු කියා සිටියේ මෙවර අයවැය ආණ්ඩුව අනිවාර්යෙන්ම ජය ගන්නා නිසා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් සභා ගර්භයේ රැදී නොසිටි බවයි. ජාතික නිදහස් පෙරමුණ පරාජය වසා ගැනීම සඳහා මෙවැනි ප්‍රකාශ සිදුකරන බවට ද ඔහු කියා සිටියා.

මේ අතර, අතුරු අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද ගාල්ලේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී ඔහු කියා සිටියේ පැරණි ආර්ථික ප්‍රතිපත්තියම වෙනත් විධියකින් මෙම අයවැය තුළ ක්‍රියාත්මක වීම හේතුවෙන් තමන් ඊට විරුද්ධව ඡන්දය භාවිතා කළ බවයි.