කිසිඳු විශේෂ ගුවන් යානයක් ඇණවුම් කළේ නෑ

Monday, 09 February 2015 - 15:16

%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%B3%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AB%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B6%B1%E0%B7%91
ඇමරිකානු ඩොලර් මිලියන 16ක් වැය කොට තමාගේ භාවිතය සඳහා කිසිඳු විශේෂ ගුවන් යානයක් ඇනවුම් කොට නොතිබුණු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම  එයාර් බස් සමාගමෙන් නව ගුවන් යානා මිලදී ගන්නා විට එකී සමාගම විසින් අවශ්‍ය වූ විට ගුවන් යානාවල සාමාන්‍ය ආසන කිහිපයක් ඉවත් කොට විශේෂ මගීන් සඳහා විවිධ පහසුකම් සහිත විශේෂ කුටියක් ලෙස සැකසිය හැකි පරිවර්තන කට්ටලයක් ලබාදෙන බවයි. එම කට්ටලය ගැනුම්කරුට දෙන තිළිණයක් වශයෙන් ඇතුළත් කොට ඇති බවත්, ඩොලර් මිලියන 15ක් ලෙස එහි සටහන් වූයේ එම කට්ටලයට නිෂ්පාදකවරයා සදහන් කරන සංකේතාත්මක වටිනාකම පමණක් බවත්, ඔහු සඳහන් කළා.

හිටපු ජනාධිපතිවරයා සිය මාධ්‍ය නිවේදනය මගින් ඔහුට එරෙහිව එල්ල වන තවත් චෝදනා කිහිපයකට ප්‍රතිචාර දක්වා තිබුණා.

මේ වසරේ ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා රුපියල් කෝටි දස දහසක මුදලක් වෙන් කර තිබූ බවත් එය නව රජය රුපියල් කෝටි 272ක් දක්වා අඩු කොට ඇති බවටත් එක්තරා රූපවාහිනී වැඩසටහනකදී සඳහන් වූ බවයි හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනය මගින් පෙන්වා දී ඇත්තේ. එහෙත් ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා එවැනි මුදලක් කිසිදාක වෙන් නොකළ බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන්නේ යැයි හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වෙනවා. මේ වසරේ ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා වෙන් කරන ලද මුළු මුදල රුපියල් කෝටි 959ක්. ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා වෙන් කරන ලද මුදල් සියල්ල වැය වන්නේ ජනාධිපතිවරයාගේ නඩත්තුව සඳහා නොවන බව ද හිටපු ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කරනවා.  

ජනාධිපතිවරයාගේ කාර්යාලය වෙනුවෙන් මේ වසරේ වෙන් කර තිබූ මුදල රුපියල් කෝටි 375ක්. ඉන් රුපියල් කෝටි 100ක් වෙන් කර තිබුණේ දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනාධිපතිවරයාගේ විශේෂ මැදිහත්වීමෙන් ජනතාවගේ සුබසාධනය සදහා ඉදිකෙරෙන විවිධ සුළු ව්‍යාපෘති සඳහා බව ද  මහින්ද රාජපක්ෂ හිටපු  ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්. එම මුදල ඉවත් කළ විට ජනාධිපතිවරයාගේ කටයුතු සඳහා වෙන් කර තිබුණේ රුපියල් කෝටි 275ක මුදලක් බවයි ඔහු ප්‍රකාශ කළේ.

රටේ විවිධ ස්ථානවල ජනාධිපතිවරයාට පවතින නිළ නිවාස පිළිබද සදහන් කරමින් ඒ සියල්ල තමාගේ සුඛ විහරණය සඳහා ඉදිකරන ලද ඒවා ලෙස හුවා දැක්වීමට ඇතැමුන් උත්සාහයක නිරත යන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චෝදනා කළා. අරලිය ගහ මන්දිරය සහ ජනාධිපති මන්දිරය මෙන්ම නුවරඑළිය සහ මහනුවර පිහිටි ජනාධිපති මන්දිර යටත්විජිත සමයේ සිටම රටේ ආණ්ඩු ප්‍රධානීන් විසින් භාවිත කර තිබෙනවා. අනුරාධපුරය, ඇඹිලිපිටිය සහ මහියංගනය වන ස්ථානවල පිහිටි නිළ නිවාස හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස විසින් ඉදිකරන ලද බවත්, මෙම කිසිදු නිළ නිවාසයක් තමාගේ පාලන කාලය තුළ ඉදිකළ ඒවා නොවන බවත්, හිටපු ජනාධිපතිවරයාගේ නිවේදනයේ සඳහන්. අනාගතයේදී මහජන ප්‍රදර්ශනය සඳහා අරලියගහ මන්දිරය සහ ජනාධිපති මන්දිරය විවෘත කරන බව ප්‍රකාශ කළත්, තමා අරලිය ගහ මන්දිරයේ සිටි කාලයේදී පවා ඉතා ඈත පිටිසර පළාත්වලින් පාසල් ළමයින් සහ වැඩිහිටියන් දහස් ගණනින් එය නැරඹීමට පැමිණි බව ද ඔහු මෙහිදී සිහිපත් කර තිබෙනවා. එමෙන්ම අරලිය ගහ මන්දිරයේ පැවැති තමාගේ පොහොය දින වැඩසටහන්වලට ද දහස් ගණනින් ජනතාව පැමිණි බවයි හිටපු ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ.

තමා සහ තමාගේ කාර්ය මණ්ඩල භාවිත කළ සියලූ වාහන නිසි පරිදි භාර දී ඇති බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය නිවේදනය මගින් පෙන්වා දී ඇත්තේ. ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඇතැම් වාහන තවමත් ලැබී නොමැති බවට පුවත් පළ කර ඇති අතර, ඉන් ඩිෆෙන්ඩර් රථ 22ක් බොරැල්ලෙන් සහ තවත් වාහන 52ක් පිටකෝට්ටේ ඉඩමක අතහැර දමා තිබූ බවට වාර්තා පළ කර තිබූ බව ද ඔහු ප්‍රකාශ කළා. මෙම වාහන හමුවූයේ  ජනාධිපති ලේකම් කාර්යාලයේ නිළ වාහන අංගනයන්හි තිබී බවත් පිටකෝට්ටේදී හමුවූ අතහැර දමා ඇති වාහන බොහොමයක් රජයේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය අනුව වෙන්දේසි කළ නොහැකි 1980 දශකයේ සිට පවතින අධි ආරක්ෂිත වාහන බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය නිවේදනය මගින් තවදුරටත් පෙන්වා දී තිබෙනවා.