මෙවර ඉන්දීය සහය ලංකාවට

Wednesday, 11 February 2015 - 13:02

%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B6%BB+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
එළඹෙන මාර්තු මාසයේ ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකළ ජාත්‍යන්තර පරීක්ෂණයේ වාර්තාවට සහයෝගය නොදක්වන බව ඉන්දියාව පවසනවා. නව රජයක් බලයට පත් වී වැඩි කාලයක් ගත වී නොමැති බැවින් ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දු ක්‍රියාත්මක කිරීමට කාලයක් ලබාදිය යුතු බවයි ඉන්දීය රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් හින්දු පුවත්පත සඳහන් කළේ.

යුධ සමයේ මෙරට සිදු වූ බව කියන මානව හිමිකම් කඩවීම් පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවට ඇමරිකාව ප්‍රධාන බටහිර රටවල් 2014 වසරේ සම්මත කරගත් යෝජනාවට ඉන්දියාව ජන්දය දීමෙන් වැලකී සිටියා. මෙවැනි ජාත්‍යන්තර පරීක්ෂණ වාර්තාවක් තුලින් නව රජය අපහසුතාවයට පත් කිරීම අනුමත කළ නොහැකි බවද හින්දු පුවත්පතේ පළ වූ වාර්තාවේ දැක්වෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එළඹෙන මාර්තු මස 15 වනදා සිය ඉන්දීය සංචාරයක අරඹන අතර එහිදී ශ්‍රී ලංකාවේ සංහිදියාව සහ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් සමඟ සාකච්ජා කරනු ඇති. එමෙන්ම ඉන්දියාව තුල ජිවත්වන මිලියනයක් පමණ වන ශ්‍රී ලාංකික සරණාගතයින් යලි සියරට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ජා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයාගේ සංචාරයට පෙර විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් හමුවී සාකච්ජා කරනු ලැබුවා.

මේ අතර යුධ සමයේ දෙමළ ජනතාවට සිදු වූ බව කියන හිරිහැර සම්බන්ධයෙන් සෙවීමට ජාත්‍යන්තර පරීක්ෂනයක් අවශ්‍ය බවට උතුර පළාත් සභාවේ දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් සම්මත කරගත් යෝජනාව සම්බන්ධයෙන් ද හින්දු පුවත්පත සඳහනක් කර තිබුණා. දැනට පවතින වතාවරණය යටතේ ශ්‍රී ලංකාවට බලපෑම් කිරීම ගැන ඉන්දියාවේ දැඩි අවධානය යොමුව ඇති අතර නව රජයට උතුර පළාතේ ජනතාව වෙනුවෙන් සිය යුතුකම් කොටස ඉටු කිරීමට කාලය ලබා දිය යුතු බව ද එහි සඳහන්.

උතුර පළාත් සභාව තුල දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත්‍රීවරුන් මෙම යෝජනාව සම්මත කරගනු ලැබුවේ ඊයේ දිනයේයි. ඒ සඳහා පළාත් සභාව නියෝජනය කරන දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් 30 දෙනාගේම අනුමැතිය හිමිව තිබෙනවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා කියා සිටියේ මෙවැනි යෝජනාවක් සම්මත කර ගැනීම ජිනීවා මානව හිමිකම් කොමිසමට ලබන මාර්තු මාසයේ ඉදිරිපත් වන වාර්තාවට කිසිදු බලපෑමක් එල්ල නොවන බවයි.