මධ්‍යම කාරක සභාව හෙට රැස්වේ

Thursday, 12 February 2015 - 12:55

%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට පෙරවරුවේ පැවැත්වෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අනිද්දා පස්වරු දෙකට නිදහස් පක්ෂයේ විධායක සභාවද රැස්වන බවයි. එහිදී නව තනතුරු කිහිපයක් පත්කෙරෙන අතර පසුව එදිනම පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභාවේදී ඒවා ස්ථිර කරගැනීමට නියමිතයි.

මෙවර පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම සහ විධායක සභා රැස්වීම සුවිශේෂී වන්නේ පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් දැනට මතුව ඇති ගැටළුකාරී තත්ත්වය හේතුවෙන්. ජනාධිපතිවරණයට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිදහස් පක්ෂයේ සභාපති තනතුර දැරූ අතර එහි මහ ලේකම්වරයා ලෙස අනුර ප්‍රියදර්ශන යාපා හිටපු අමාත්‍යවරයා පත් කරගැනුනා. ඒ, හිටපු මහ ලේකම්, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ  නිසා එම තනතුර පුරප්පාඩු වූ බව පක්ෂය තීරණය කිරීමත් සමගයි. පක්ෂයේ භාණ්ඩාගාරික ධුරය හිටපු අමාත්‍ය ඩලස් අලහප්පේරුම හෙබවූ අතර ජාතික සංවිධායකවරයා වූයේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් මතුවුණේ අර්බුදකාරී තත්ත්වයක්. ජනවාරි 11 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පක්ෂ මූලස්ථානයේදී රැස්වූ අතර එම රැස්වීම අතරතුර නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දැරූ හිටපු අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ විජේරාම නිවසේදී මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා.

එම මාධ්‍ය හමුවට ජනක බණ්ඩාර තෙන්නකෝන්, සරත් අමුණුගම, පියසේන ගමගේ, ෆයිසර් මුස්තාපා, එස්.බී. නාවින්න, රෙජිනෝල්ඞ් කුරේ, විජිත් විජයමුණි සොයිසා, ජගත් පුෂ්පකුමාර, එන්.කේ.ඞී.එස්. ගුණවර්ධන, දුමින්ද දිසානායක, නිල්වලා විජේසිංහ, අතාවුද සෙනෙවිරත්න සහ වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර එක්ව සිටියා. මෙහිදී අදහස් දක්වමින් වාරිමාර්ග අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළේ පක්ෂයේ සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පත් කර ගත් බවයි.  

කෙසේ වෙතත්, මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් හිටපු අමාත්‍යවරුන් පිරිසක් එදිනම සඳහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යළි පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කරගත් බවයි. එම  මාධ්‍ය හමුවට හිටපු ජනාධිපතිවරයා මෙන්ම සුසිල් ප්‍රේමජයන්ත, නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා යන හිටපු අමාත්‍යවරුන් එක්වුණා.

පසුව කොළඹ පදනම් ආයතනයේ පැවති නිදහස් පක්ෂ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා බවට පත්වන්නේ හිටපු ජනාධිපතිවරයා එම තනතුර ඔහුට ලබාදිය යුතු බව පවසමින් ලිපියක් යොමු කිරීමත් සමගයි. පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් එසේ සිදුවිය යුතු බව හිටපු ජනාධිපතිවරයා එම ලිපියේ සඳහන් කර තිබුණා.

එසේම විදේශගතව සිටින පක්ෂයේ ජාතික සංවිධායකවරයා වූ බැසිල් රාජපක්ෂ ද දන්වා තිබුණේ ජනාධිපතිවරණයේ පරාජයේ වගකීම භාරගනිමින් තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි. කෙසේ වෙතත් පක්ෂයේ අනෙකුත් තනතුරු සම්බන්ධයෙන් මේ වනවිට ගැටළුකාරී තත්ත්වයක් පවතින අතර එය අනිද්දා පැවැත්වෙන විධායක සභා රැස්වීමේදී විසඳෙනු ඇතැයි අපේක්ෂිතයි.