ශ්‍රී.ල.නි.ප දෙකට කැඩෙයි

Monday, 16 February 2015 - 13:01

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93.%E0%B6%BD.%E0%B6%B1%E0%B7%92.%E0%B6%B4+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට දෙකඩ වී ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල, ගලගෙදර ප්‍රදේශයේ ඊයේ (15) පැවති ජනහමුවකට එක්වෙමින් කියා සිටියේ මෙම දෙකඩවීම පසුගිය සෙනසුරාදා පැවති නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම අවස්ථාවේදී ඇතිවූ තත්ත්වයෙන් මනාව පිළිබිඹු වන බවයි. එක්සත් ජාතික පක්ෂය වසර 15 ක් බලයේ සිටින බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කළා.

නිදහස් පක්ෂයේ නිලධාරී මණ්ඩලය සම්බන්ධයෙන් සහ පක්ෂයේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සිදුකරන වෙනස්කම් පිළිබඳව එහි ජ්‍යෙෂ්ඨ නායකයින් අතර සාකච්ඡාවක් පසුගිය සිකුරාදා පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා. එහිදී ගත් තීරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව ඊට පසුදා බත්තරමුල්ල - අපේගම පරිශ්‍රයේදී රැස්වුණා.

කෙසේ වෙතත් එම රැස්වීම අවසන්වීමෙන් පසුව අපේගම පරිශ්‍රයේදී උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවූයේ පළාත්පාලන ආයතන නියෝජිතයින් පිරිසක් තමන්ට සමස්ත ලංකා කාරක සභාවේදී අදහස් දැක්වීමට නොලැබුණු බව පවසමින්.

කෙසේ වෙතත් මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකඩවීමක් සිදුව ඇත්තේද යන්න පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, හිටපු අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්නගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ පක්ෂය දෙකඩවීමට කිසිවිටකත් ඉඩ නොදෙන බවයි.