Update: ජනපති, ඉන්දීය ජනපති අතර සුහද හමුව

Monday, 16 February 2015 - 13:09

Update%3A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%94%E0%B7%84%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80
ඉන්දියාවේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලූ දූත පිරිස පිළිගැනීම වෙනුවෙන් විශේෂ උත්සවයක් ඉන්දීය ජනපති මැදුර වන රාෂ්ට්‍රපති භවන් හිදී අද පෙරවරුවේ පැවැත්වුණා. රාෂ්ට්‍රපති භවන් වෙත ගිය ජනාධිපතිවරයා ඇතුලූ දූත පිරිස එහිදී පිළිගනු ලැබුවේ ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුකර්ජී සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින්. හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩි මුර සහිතව ඉතා අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු කෙරුණා. අනතුරුව ඉන්දීය ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා ජනපතිවරයා අතර සුහද හමුවක්ද පැවති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ. මේ අතර නවදිල්ලියේ රාජ්ගාඞ් හි පිහිටි මහත්මා ගාන්ධි පිළිරුව වෙත අද පෙරවරුවේ ගිය ජනාධිපතිවරයා ඊට පුෂ්පෝපාහාර දැක්වූවා. අනතුරුව එහි නිල සමරු සටහන් පොතේද ජනාධිපතිවරයා සටහනක් තැබූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය තවදුරටත් සඳහන් කළේ.

................................................................................................................................................................................

ජනපති බලන්න තමිල්නාඩු ධීවරයොත් එනවා

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ඉන්දීය සංචාරයට සමගාමීව තමිල්නාඩු ධීවරයින් පිරිසක් අද පස්වරුවේ ජනාධිපතිවරයා මුණගැසීමට නියමිතව තිබෙනවා. නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පැවැත්වෙන මෙම හමුවට ඉන්දු - ශ්‍රී ලංකා ධීවර සමිති සම්මේලනයේ සභාපති ටී. දේව්දාස් ඇතුලූ තමිල්නාඩු ධීවරයින් පිරිසක් එක්වීමට නියමිත බව එහි උපදේශක එස්.පී. අන්තෝනිමුත්තු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය වෙනුවෙන් මෙරට භාරයේ තිබූ ඉන්දීය ධීවර බෝ්ට්ටු  86ක්  නිදහස් කිරීමට පසුගියදා පියවර ගැනුනා. ඊට සමගාමීව අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු සහ ධීවර යාත්‍රා 24 ක් මුදාහැරීමටයි ඉන්දියාව කටයුතු කළේ. ඒ අනුව මේ වනවිට කිසිදු ධීවරයෙකු දෙරට භාරයේ නොමැති බව ඉන්දු - ශ්‍රී ලංකා ධීවර සමිති සම්මේලනයේ උපදේශක එස්.පී. අන්තෝනිමුත්තු ප්‍රකාශ කළා.

මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුකර්ජී අතර හමුවක් රාෂ්ඨපති භවන්හිදී අද පැවැත්වෙනවා. මෙහිදී ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක්ද සංවිධාන කර ඇති බවයි හින්දු පුවත්පත වාර්තා කළේ. අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මුණගැසීමට නියමිතයි.

එහිදී දෙරටටම වැදගත් වන කරුණු රැසක් පිළිබඳව දෙරටේ නායකයින් සාකච්ඡා කිරීමට නියමිත බව ඉන්දීය වාර්තා සඳහන් කළා. ආයෝජන, සංස්කෘතික සහ කෘෂිකර්ම ඇතුලූ ක්‍ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් කිහිපයකටද මෙහිදී අත්සන් තැබෙනු ඇති. එසේම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර න්‍යෂ්ටික සහයෝගීතා ගිවිසුමකටද මෙහිදී අත්සන් තැබීමට නියමිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක සෙයිද් අක්බරුදීන් කියා සිටියා.