ජනපති මෛත්‍රී, ඉන්දීය අගමැති හමුවෙයි

Monday, 16 February 2015 - 19:38

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%2C+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සිය ප්‍රථම විදෙස් චාරිකාව ලෙස ඉන්දියාවේ සිව් දින සංචාරක නිරත වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (16) මුණ ගැසුණා. එහිදී දෙරට අතර ගිවිසුම් 4කට අත්සන් තැබූ බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සාමකාමී කටයුතු සඳහා න්‍යෂ්ටික සහයෝගීතාව ඉන් පළමුවැන්නයි. ඉදිරි තුන් වසර සඳහා ඉන්දු - ශ්‍රී ලංකා සංස්කෘතික සහයෝගීතාව වෙනුවෙන්  ද ගිවිසුමක් අත්සන් තැබුණු අතර, ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාල ව්‍යාපෘතියට ශ්‍රී ලංකාවට දායක විය හැකි අවබෝධතා ගිවිසුමක් ද අත්සන් තබා තිබෙනවා. ඉදිරි දෙවසර සඳහා ඉන්දු - ශ්‍රී ලංකා කෘෂිකාර්මික සහයෝගීතාව වෙනුවෙන් ද අවබෝධතා ගිවිසුමක් එහිදී අත්සන් තැබුණා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ද පවත්වනු ලැබුවා. එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ සමීපතම අසල්වැසියා ලෙස ඉන්දීය ජනතාවගේ හොඳ හිත සහ සහාය නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාව වෙත යොමු වන බවයි. බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ සාකච්ඡා කළ බව පැවසූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙරට විශාලතම වෙළඳ සහකරු වන ඉන්දියාව, ශ්‍රී ලංකාවට ද ප්‍රතිලාභ අත්කර දීමට සූදානම් බවයි. ඒ සම්බන්ධයෙන් දෙරටේ වාණිජ ලේකම්වරුන් නුදුරේදීම හමුවන බව අග්‍රාමාත්‍ය මෝදි සඳහන් කළා.

ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ ප්‍රමුඛ කරුණක් ලෙස සාකච්ඡා කළ බවයි අග්‍රාමාත්‍ය මෝදි කියා සිටියේ. දෙරට අතර සබඳතා ඉහළ තලයකට ඔසවා තැබීම සඳහා එම සාකච්ඡා ඉවහල් වනු ඇති බවට ඔහු විශ්වාසය පළ කළා. සාමකාමී කටයුතු සඳහා න්‍යෂ්ටික සහයෝගීතාව වෙනුවෙන් අත්සන් කළ ගිවිසුම දෙරට අතර අනෝන්‍ය විශ්වාසය පිළිබිඹු කරන බවයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කියා සිටියේ. ද්වි පාර්ශවික කරුණු මෙන්ම ජාත්‍යන්තර වාතාවරණය සම්බන්ධයෙන් ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ සාකච්ඡා කළ බව ඔහු කියා සිටියා. එමෙන්ම ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත ලබන මාසයේ තමා ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙහිදී තහවුරු කළා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ තමාගේ ප්‍රථම විදෙස් චාරිකාව ලෙස තෝරා ගත් ඉන්දීය චාරිකාවේදී ප්‍රතිඵල රැසක් හිමි වූ බවයි. දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ තීරණ රැසකට එළඹුණු බව ද ජනාධිපතිවරයා කියා සිටියා.
 
ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය සඳහා ලක්ෂ්මන් කිරිඇල්ල, මංගල සමරවීර, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, විජේදාස රාජපක්ෂ සහ ඩී.එම්. ස්වාමිනාදන් යන අමාත්‍යවරුන් ද එක්ව සිටිනවා.