මහා ශිව රාත්‍රිය අද

Tuesday, 17 February 2015 - 9:23

%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%81%E0%B7%92%E0%B7%80+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
ශිව දෙවියන්ට පූජෝපහාර කිරීම සැමරෙන මහා ශිව රාත්‍රී දිනය අදට යෙදී තිබෙනවා. ශිව දෙවියන්, මහා බ්‍රහ්මයා සහ විෂ්ණු අතර බලය උරගා බැලූ මහා ශිව රාත්‍රී දිනය, ශිව දෙවියන් පාර්වතී දෙවඟන හා විවාහ වූ දිනය ලෙස ද සැලකෙනවා. ඒ නිමිත්තෙන් ලොව පුරා හින්දු බැතිමතුන් පුද පූජා පවත්වන්නේ උපවාසය පෙරටු කර ගනිමින්.

මහා ශිව රාත්‍රී උත්සව දිනය ලොව පුරා සිටින සියලූම හින්දු භක්තිකයන් සහ ශ්‍රී ලාංකික හින්දු භක්තිකයන්ට සුබ ශිව රාත්‍රී දිනයක් ලෙස තමා සුභාශිංෂන එක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. දැනුමේ ආලෝකයෙන් හා අවබෝධයෙන් තම ජීවිතවලින් මෝහාන්ධකාරය පළවා හැරීමට මිනිසුන් ගන්නා නිත්‍ය උත්සාහය මෙම උත්සවයේ විශේෂාංගයක් වන පහන් දැල්වීම තුළින් සංකේතවත් වන බවයි ජනාධිපතිවරයා සිය නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය මහා ශිව රාත්‍රී දින සුබ පැතුම් පණිවුඩය නිකුත්  කරමින් පවසන්නේ අද අප රටේ නව දේශපාලන සංස්කෘතියක් සහ ජාතීන් අතර සහෝදරාත්මක පිබිදීමක් නිර්මාණය වෙමින් පවතින බවයි. එවන් පසුබිමක මහා ශිව රාත්‍රී උත්සවය පැවැත්වීම සංහිදියාවේ ආලෝකයෙන් වෛරයේ ඝන අඳුර දුරුකරලීමේ පිළිබිඹුවක් සේ සැලකිය හැකි බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා සිය මහා ශිව රාත්‍රී පණිවුඩයෙන් පෙන්වා දෙන්නේ එය ආධ්‍යාත්මික ගුණ වගාව සමාජයේ යහධර්ම ශක්තිමත් කිරීමට ඇති මහඟු අවස්ථාවක් බවයි. සැමගේ අපේක්ෂාව විය යුත්තේ වෛරය, ක්‍රෝධය වෙනුවට දයාව, කරුණාව පෙරට ගත් සමාජයක් ගොඩනැගීමට අදිටන් කර ගැනීමත් බවත් විපක්ෂ නායකවරයා සදහන් කළා.  එය ඉටු කළ හැක්කේ දැඩි කැපවීම හා අධිෂ්ඨානය මගින් බව පෙන්වා දෙන විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහා ශිවරාත්‍රී මංගල්‍යය එවන් සමාජයකට දිරි ගන්වන්නක් බව ද කියා සිටියා.