තොන්ඩමාන්ට අධිකරණ තහනමක්

Tuesday, 17 February 2015 - 15:22

%E0%B6%AD%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඉකුත් රජය මගින් වතු කම්කරුවන්ට බෙදාහැරීම සඳහා තොන්ඩමාන් පදනමට ලබාදුන්නේ යැයි කියන රු.කෝටි තුනක වටිනාකමින් යුත් භාණ්ඩ තොගයක් ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ආරුමුගන් තොන්ඩමාන් මහතාට ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති හිටපු නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් මහතාට සහ තොන්ඩමාන් පදනමේ සාමාජිකයන් විසින් අද (17.02)  එම භාණ්ඩ නැවත වතු කම්කරුවන්ට බෙදාහරිමින් සිටින අවස්ථාවේ නෝර්වුඩ් පොලීසිය මගින් එම භාණ්ඩ නිකුත් කිරීම වහාම අත්හිටුවන ලෙසට හැටන් වැඩබලන මහේස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. එම අධිකරණ නියෝගය පොලීසිය මගින් ගෙනවිත් තොන්ඩමාන් මහතාට ලබාදෙන අවස්ථාවේ එය ලබාගැනීම ප්‍රතික්ෂේප කරමින් තොන්ඩමාන් මහතා එම ක්‍රීඩාංගණයෙන් පිටව ගියා. ඉන් අනතුරුව නෝර්වුඞ් පොලීසිය මගින් බෙදාහරින ලද භාණ්ඩ රැගෙනයෑම වැළැක්වීමට ක්‍රීඩාංගණයේ දොර වසාදැමීමත් සමගම නොසන්සුන්කාරී තත්වයක් ඇතිවුනා. ක්‍රීඩාංගණයේ වෙනත් අතුරු මාර්ග වලින් භාණ්ඩ රැගෙනයෑම වැළැක්වීමට පොලීසිය කටයුතු කරනු ලැබුවා. එහෙත් ඇතැම් පිරිස් ඒ ලබාගත් භාණ්ඩ විශාල ප්‍රමාණයක් රැගෙනයන ආකාරයක් අප කැමරාවේ සටහන්වුනා. මේ වන විට නෝර්වුඞ් තොන්ඩමාන් ක්‍රීඩාංගණයට පොලිස් කැරලි මර්දන ඒකකය සහ අමතර පොලිස් බලඇනි යොදවා තිබෙනවා. පැවති ජනාධිපති මැතිවරණයට ප්‍රථම තොන්ඩමාන් ක්‍රීඩාංගණයේ සිමෙන්ති ගල් නිෂ්පාදනය කරන යන්ත්‍ර, ශබ්ද විකාශන යන්ත්‍ර, පුටු, සෙවිලිතහඩු, වැහි කූඩාරම් සහ විශාල ඉහුම් භාජන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම භාණ්ඩවල අයිතිය තොන්ඩමාන් පදනමට ඇති බව අධිකරණය හමුවේ එම පදනම මගින් කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හැටන්  මහේස්ත්‍රාත් අයි.පී.ඞී.ලියනගේ මහතා විසින් එම භාණ්ඩ එම පදනමට නැවත ලබාදෙන ලෙස පොලීසියට නියෝග කළා. අද (17.02) නෝර්වුඞ් පොලීසිය මගින් හැටන් වැඩබලන මහේස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් පවසා සිටියේ මෙම භාණ්ඩ සම්බන්ධයෙන් හැටන් පොලීසිය මගින් පවත්වන ලද පරීක්ෂණ වල විශාල අඩුපාඩුකම් රැසක් පවතින බවත් නැවත ඒ සඳහා වෙනත් සහකාර පොලිස් අධිකාරීවරයෙකු සහ පොලිස් කණ්ඩායම් විසින් පරීක්ෂණයක් පැවැත්වීම ආරම්භකර ඇති බැවින් අද (17.02) දින එම පදනම මගින් නිකුත් කිරීමට සැලසුම්කර ඇති භාණ්ඩ නතර කිරීමට නියෝගයක් ලබාදෙන ලෙසයි. මෙම කරුණු සලකාබැලූ වැඩබලන මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කරනු ලබුවා. මෙම භාණ්ඩ ලබාදීමට ප්‍රථම පැවති රැස්වීමේදී තොන්ඩමාන් මහතා පවසා සිටියේ මෙම භාණ්ඩ බෙදාහැරීම හැකිනම් නතර කර පෙන්වන ලෙසයි. මේ වන විට නෝර්වුඞ් නගරයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා. මෙම භාණ්ඩ තේ වතු දෙසීයතුනකට (203) ගම්මාන හතලිස් හතකට (47) සහ තොන්ඩමාන් පදනමේ ප්‍රජා ශක්ති ව්‍යාපෘති හතලිස් හතරකට (44) මෙම භාණ්ඩ නිකුත් කරමින් සිටියා.

















































ඡායාරූප - රංජිත් රාජපක්ෂ